pic 1

සෑම වසරකම විශ්‍රාමිකයන් විසින් ග්‍රාම නිලධාරී මඟින් ලබා දිය යුතු ජීවිත සහතිකය නවීන තාක්ෂණය සමඟ මුසු කරමින් දැනට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති ජෛවමිතික ක්‍රමයට ඇඟිලි සලකුණු ලබා ගැනීම සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දීමේ වැඩසටහනෙහි දෙවැනි අදියර 2020.02.11 වන දින ගරු රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු ශ්‍රවණාගරයේ දී පැවැත්විණි.

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම වැඩසටහනෙහි දෙවැනි අදියර විශ්‍රාමිකයන් වැඩිම සංඛ්‍යාවක් සිටින ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වන විට ආරම්භ කර තිබේ.ගම්පහ දිස්ත්‍රික්කයෙහි සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ම ආවරණය වන පරිදි මෙම උපකරණ ලබා දීම ඒ අනුව සම්පූර්ණ වේ.ඉන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 6 ක් සඳහා 2020.01.21 දින එම උපකරණ ලබා දී ඇති අතර එහි අවසාන පියවර වශයෙන් සෙසු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 7 සඳහා අදාළ උපකරණ අමාත්‍යතුමන් විසින් ලබා දීම මෙදින සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ ගරු අමාත්‍යතුමන්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ජනතාවට රජයෙන් ලබා දෙන සේවාවන් කාර්යක්ෂම කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව සඳහන් කරන ලදී.ජීවිත සහතික සඳහා ඇඟිලි සලකුණු ලබා දීම තාක්ෂණය සමඟ මුසු කිරීම ද එම වැඩසටහන් අතර ඉදිරියෙන් සිටින වැඩසටහනක් බවත් පෙර පැවති සංකීර්ණ ස්වභාවය සරල වන බැවින් විශ්‍රාමිකයන්ට අපහසුවකින් තොරව ඉදිරියේ දී එම ක්‍රියාවලියට සහභාගී විය හැකි බවත් ප්‍රකාශ කර සිටියේය. තාක්ෂණමය වශයෙන් නිවැරදි සහතිකයක් ලබා ගැනීමට හැකියාව මෙමඟින් ලැබීම සුවිශේෂී කාරණයක් බව ද ප්‍රකාශ කළේය.

රාජ්‍ය ආයතන තාක්ෂණය සමඟ බද්ධ කිරීමේ ක්‍රියාවලිය විවිධ අභියෝග රැසකට මුහුණ දෙමින් ඉදිරියට ගෙන යන ක්‍රියාවලියක් වුවද රජයට වැය බරක් නොමැතිව මානව සම්පත විශිෂ්ඨ ලෙස කළමනාකරණය කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තුළ සිදු කරන තාක්ෂණික පරිවර්තනය අගය කරන බව ද අමාත්‍යතුමන් මෙහිදී සඳහන් කරනු ලැබුවේය.

මේ මස 13 සහ 20 යන දිනයන්හි දී ලබා දුන් මෙම තාක්ෂණික උපකරණ යොදා ගනිමින් විශ්‍රාමිකයන්ගේ ඇඟිලි සලකුණ ලබා ගැනීමේ ක්‍රියාවලිය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්කාර්යාලවලදී ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සංකේතවත් ලෙස ආරම්භ කරන බව ද මෙහි දී ප්‍රකාශ කරන ලදී.

ජීවිත සහතික ලබා දීම සඳහා ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යාමට සිදු වූ පෙර පැවති ක්‍රමය වෙනස් කිරීමෙන් පසු නව ක්‍රමවේදය ඔස්සේ විශ්‍රාමිකයන්ට සිය ජීවිත සහතිකය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී සුළු කාල සීමාවක් තුළ ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. ජෛවමිතික ක්‍රමවේදයෙන් මෙසේ ජීවිත සහතිකය ලබා දීම සිදු කරනු ලබන්නේ 2016 ඔක්තෝම්බර් මාසයට පසු විශ්‍රාම ලැබූ, විශ්‍රාම ගැන්වීමේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි සත්කාර පියස සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී ඇඟිලි සලකුණු ලබා දී දෙපාර්තමේන්තු මධ්‍යගත දත්ත පද්ධතියට දැනට ඇතුළත් වී සිටින විශ්‍රාමිකයන්ට පමණි. 2016 ට පෙර විශ්‍රාම ලැබූවන් මෙම ක්‍රමවේදයට ඇතුළත් කිරීම සඳහා ඉදිරියේ දී විධිමත් වැඩපිළිවෙලක් සැකසීම සිදු කෙරෙනු ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙන්ම මෙම ඇඟිලි සලකුණු ලබා දීම රාජ්‍ය හා පෞද්ගලික බැංකු ජාලය හරහා ද සිදු කිරීමට නියමිතය. එහි පළමු අදියර Pan Asia බැංකුවෙහි දිවයින පුරා පිහිටි ශාඛා 40ක් ආවරණය පරිදි සිදු කිරීම ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ Pan Asia බැංකුව අතර එකඟතාවය අනුව මීට සමගාමීව ආරම්භ වීමට නියමිතය.

මෙම අවස්ථාවට කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමන්,ගම්පහ දිස්තික්ක ප්‍රාදේශීය ලේකම් වරුන්,විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී. ඩයස් මහතා,අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර් පත්මප්‍රිය මහතා,ප්‍රධාන ගණකාධිකාරී ඒ.ඩී.ටී.එන් අබේසිංහ මහතා ඇතුළු මාණ්ඩලික නිලාධාරීන් රැසක් සහභාගී විය.