pic 1ජීවිත සහතික ලබා දීමේ පැරණි ක්‍රමවේදය වෙනුවට නව තාක්ෂණික ප්‍රවේශයක් හරහා එය සිදු කිරීමට පසු ගිය දා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.ඒ අනුව විශ්‍රාමික තොරතුරු සඳහන් ආකෘති පත්‍ර පිරවීමේ පැරණි ක්‍රමවේදය වෙනුවට ඇඟිලි සලකුණ භාවිත කරමින් සිය ජීවිත සහතික ලබා දීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දුණි.

මෙම නව ක්‍රමය හරහා සෑම වසරකම ආරම්භයේ දී විශ්‍රාමිකයන්ට තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් තම ඇඟිලි සලකුණ තබා ජීවිත සහතිකය ලබා දීමේ හැකියාව පවතී. ජීවිත සහතික ලබා ගැනීම සඳහා පූර්වයේ පැවති ක්‍රමවේදය අනුව විශ්‍රාමිකයන්ට ග්‍රාම නිලධාරීන් වෙතත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතත් යාමට සිදු වූ අතර එය දීර්ඝ කාල සීමාවක් ගතවන ක්‍රමයක් විය.නව ඇඟිලි සලකුණු ක්‍රමයේ දී විශ්‍රාමිකයන් හට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී තත්පර කිහිපයක් තුළ ජීවිත සහතික ලබා දීමට මෙමඟින් පහසුව සලසා තිබීම විශේෂත්වය වේ. නවීන තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයක් තුළ ජෛවමිතික ක්‍රියාවලියක් ලෙසින් සිදු කරන මෙම ක්‍රමවේදය හරහා වඩාත් ඵලදායී සේවාවක් මෙරට විශ්‍රාමිකයන් විෂයෙහි තිළිණ කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙතැයි විශ්වාස කෙරේ.

දිවයින පුරා විසිරී ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ස්ථාපිත කොට ඇති ඇඟිලි සටහන් යන්ත්‍ර මඟින් මෙම සේවාව විශ්‍රාමිකයන්ට ලබා ගැනීමට හැකියාව පවතින අතර පසුගිය දා Pan Asia බැංකුව ද දිවයින පුරා විසිරී ඇති සිය ශාඛා 40ක් මඟින් මෙම සේවාව නොමිලයේ මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දීමට කටයුතු කරන ලදී.

ඒ සම්න්ධයෙන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 2020.02.07 දා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ ජගත් ඩී ඩයස් මහතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ද Pan Asia බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි නිමල් තිලකරත්න මහතා Pan Asia බැංකුව වෙනුවෙන් ද ගිවිසුමට අත්සන් තබන ලදී.

මේ අවස්ථාවට බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී නලින් එදිරිසිංහ සහකාර සාමාන්‍යධිකාරි ජෙරල්ඩ් වනිගසේකර හා කළමනාකරු වින්ද්‍ය වික්‍රමගේ යන මහත්වරුන් ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ. රවීන්ද්‍ර පත්මප්‍රිය, ප්‍රධාන ගණකාධිකාරී ඒ.ඩී.ටී.එන් අබේසිංහ, අධ්‍යක්ෂ පාලන රුසිත ධර්මසේන, අධ්‍යක්ෂ විශ්‍රාම වැටුප් බුද්ධික අමල් ජයතිස්ස යන නිලධාරීන් සහභාගී වූහ.