pic 1
 2019 අයවැය ප්‍රකාශනය අනුකූලව 2017.01.01 දිනට පෙර විශ්‍රාම ලැබූ රජයේ,ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹු අනත්දරු   ප්‍රතිලාභ සඳහා හිමිකම් දරන්නන්ගේ විශ්‍රාම වැටුප් පරිවර්තනය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ   වැඩපිළිවෙල පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කරමින් ඔවුන්ගේ අදහස් යෝජනා විමසනු ලැබූ සාකච්ඡාමය වැඩසටහනක්   2019.05.14 දින දෙපාර්තමේන්තු ශ්‍රවණාගරයේ දී පැවැත්විණි. විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සේවය කරනු ලැබූ සේවා කාලය සලකා සිදු කිරීමට   නියමිත විශ්‍රාම වැටුප් පරිවර්තනයේ දී වසර 25ක සේවා කාලය සම්පූර්ණ කරනු ලැබූ නිලධාරීන්හට 43% ක උපරිමයකට යටත්ව විශ්‍රාම වැටුප්   වැඩිවීමක් සිදු වනු ඇති බව මෙහිදී සඳහන් විය. එම වැටුප් වැඩිවීම් වලට අනුව විශ්‍රාම වැටුප් සඳහා මසකට දරන වියදම ද රු.මිලියන 2000 කින්   පමණ වැඩි වනු ඇතැයි ද සාකච්ඡා කෙරිණි. විශ්‍රාම වැටුප් පරිවර්තන ක්‍රියාවලිය මාර්ගගතව සිදු කිරීම සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතිය වැඩි   දියුණු කරමින් හඳුන්වා දුන් නව තොරතුරු තාක්ෂණ මෙවලම අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් භාවිත කළ යුතු ආකාරය පිළිබඳවත් නියමිත රාජ්‍ය   පරිපාලන චක්‍රලේඛය නිකුත් වූ සැණින් ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරීන් විශ්‍රාම වැටුප් පරිවර්තන කාර්යය සඳහා යොමු කළ යුතු   ආකරයත් පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය. එසේම අදාළ විශ්‍රාම වැටුප් පරිවර්තනය ක්‍රියාත්මක වන දිනය වන 2019 ජුලි 01 වන විට විශ්‍රාමිකයන් බහුතරයකගේ විශ්‍රාම වැටුප් පරිවර්තනය කිරීම සම්පූර්ණ කිරීම සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය ලබා දෙන ලෙස ද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත්.ඩී ඩයස් මහතා විසින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කරන ලදී.