forigen pen21

 

 

 

 

 

 

 

 

 

 

 

 

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලබන නිලධාරීන් හඳුනා ගැනීම සඳහා නිකුත් කරනු ලබන විශ්‍රාමික හැඳුනුම්පත නව්‍යතාවයකින් යුතුව නිකුත් කිරීමට පියවර ගෙන ඇත.එය විශ්‍රාම වැටුප සක්‍රීය කරන අවස්ථාවේ දී ම ලබා දීම 2023.04.10 වැනි දින සිට ආරම්භ කෙරිණි.

විශ්‍රාමිකයන්ගේ පළමු විශ්‍රාම වැටුප සක්‍රීය කරනු ලබන සත්කාර පියස සම්මුඛ පරීක්ෂණයේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ඇති මාර්ගගතව (Online) ඇතුළත් කරනු ලැබූ තොරතුරු සමඟ ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් හා ඇඟිලි සලකුණු ලබා දීමෙන් අනතුරුව නව විශ්‍රාමික හැඳුනුම්පත නිකුත් කරනු ලබයි.

සංකේතාත්මකව නව හැඳුනුම්පත විශ්‍රාමිකයන් වෙත නිකුත් කිරීම වෙනුවෙන් කෙටි උත්සවයක් 2023.04.10 වැනි දින දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.

විශ්‍රාමික ප්‍රජාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ යූ.ඩී.සී ජයලාල් මහතා, කේ.ඒ.එච් හේමපාල මහතා,ජේ.සී වැලිගමගේ මෙනෙවිය, පී. ඕමත්තගේ මහතා, ඩබ්.ඒ.පී.ජේ විජේරත්න මහතා සහ පී.ත්‍යාගරාජා මහත්මිය යන මහත්ම මහත්මීන් වෙත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත්.ඩී ඩයස් මහතා විසින් නව විශ්‍රාමික හැඳුනුම්පත් ප්‍රදානය කරන ලදී.

          

 alt=             
                          

 

forigen pen21

 

 

 

 

 

ඉදිරි විසිපස් වසර තුළ කලාපයේ සෞභාග්‍යමත් ප්‍රජාතාන්ත්‍රවාදී රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත් කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවකයකු ලෙස කැපවෙන බවට වන රාජ්‍ය සේවා ප්‍රතිඥාවේ දිවුරුම් දෙමින් හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද මධ්‍යයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2023.01.02 වන දින “2023” නව වසරේ රාජකාරී ආරම්භ කරනු ලැබීය.

නව වසර පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කළ කෙටි උත්සවයේ දී චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් දල්වා ආගමික වතාවත් සිදු කළ අතර රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවිපිදූ සියල්ලන් සිහිපත් කරනු ලැබිණි.

මෙහි දී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා නව වසර වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් අමතා සුභ පැතුම් එක් කළ අතර ගත වූ 2022 වසරේ දී විවිධ අභියෝග සහ දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය අඛණ්ඩවත් නිරවද්‍ය ලෙස හා විනිවිදභාවයෙන් යුතුවත් සිදු කිරීමට දායක වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ හා දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රධානීන් ඇතුළු විශ්‍රාම වැටුප් විෂය භාර නිලධාරීන් කළ කැපවීම් කෘතවේදීව සිහිපත් කරන ලදී.

විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස් සීමාව අවුරුදු 60 බවට පත් කිරීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයත් සමඟ 2022 වසර අවසානයේ විශ්‍රාම ගැනීමට නියමිත 12,000 කට අධික විශ්‍රාමිකයන් ප්‍රමාණය සහ වසරක් තුළ දී සාමාන්‍යයෙන් විශ්‍රාම ගනු ලබන 27,000 කට අධික සිවිල් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ප්‍රමාණය හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරි මාස කිහිපය තුළ දැඩි ලෙස කාර්යබහුල වීමට නියමිතය. එබැවින් දෙපාර්තමේන්තුව වෙත විශ්‍රාම ගැන්වීම සඳහා ලැබෙන අයදුම් පත්‍ර ප්‍රමාණය ද විශාල ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. එම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විශ්‍රාම ගැන්වෙන මාසයට පසු මාසයේම ගෙවීම මෙම වසරේ දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම කර්තව්‍ය වන බැවින් ඒ සඳහා කැපවීමෙන් යුතුව කටයුතු කිරීමත් ලැබී ඇති අභියෝගය ජය ගැනීමේ වගකීමත් ඒ සඳහා පන්නරයත් සියලු නිලධාරීන් සතුව පවතින බැවින් භාණ්ඩාගාරය අක්මුදල් නියමිත පරිදි ලබාදුනහොත් එය ඉතා පහසුවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා, අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම් පරාක්‍රම ජයවර්ධන මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සහභාගි විය.

          

 alt=             
                          

 

forigen pen21

 රාජ්‍ය සේවයට බැඳෙන සෑම නිලධාරියෙකුගේම සේවයේ ආරම්භයේ සිට අවසානය දක්වාත් සම්බන්ධ වන විශ්‍රාම වැටුප් හා පසු ප්‍රතිලාභත් කළමනාකරණය කරනු ලබන රාජ්‍ය ආයතනය වන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අයත්වන අමාත්‍යාංශයෙහි විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය  හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් 2022.10.27 වැනි දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කාර්යභාරය නිරීක්ෂණය කිරීමේ විශේෂ චාරිකාවකට එක් විය.

රාජ්‍ය සේවයෙන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 බවට පත් කිරීමේ රජයේ ප්‍රතිපත්තිමය තීරණය අනුව 2022.12.31 විශ්‍රාම ගැන්වෙන 12,000 කට අධික රාජ්‍ය සේවකයන් ඇතුළුව 2023 වර්ෂයේ විශ්‍රාම ගැන්විය හැකි බවට ඇස්තමේන්තුගත කර ඇති රාජ්‍ය සේවකයන් 28,000 කට අධික විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප්  කළමනාකරණය කරමින් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් විශ්‍රාම ගැන්වෙන පසු මාසයේ දී ම සක්‍රීය කර ගැනීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සකස් කර ඇති වැඩ පිළිවෙල පිළිබඳ මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විණි.

විෂය භාර අමාත්‍යවරයා ලෙස මැදිහත් වී ලබාගත් කැබිනට් මණ්ඩල අනුමැතිය අනුව යමින් මේ වන විට විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටින විශ්‍රාමිකයන් සඳහා එම පාරිතෝෂික ගෙවීම ට අවශ්‍ය අක්මුදල් මහා භාණ්ඩාගරය වෙතින් ලබා ගැනීම කඩිනම් කිරීමට කටයුතු කිරීම කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ මූලික අවධානය යොමු විය.

එමෙන්ම විශ්‍රාමිකයන් කෙරෙහි බලපාන විෂය ගැටලු ගණනාවක් කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබීය. රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව වන අවු.45 ඉක්මවා මධ්‍යම රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනයන්ට බඳවා ගැනීම් ස්ථිරවම නතර කිරීම සහ දැනට බඳවා ගෙන විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ඉල්ලුම් කරන සේවකයින් සම්බන්ධයෙන් පොදු තීරණයක් ගැනීම හා 2015 න් පසු පත්වීම් ලද රාජ්‍ය නිලධාරීන් සඳහා හිමිවන විශ්‍රාම වැටුප් ක්‍රමයක් නිශ්චිතව හඳුන්වාදීම කෙරෙහි ද අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරවීමට කටයුතු කරන ලදී.

රටේ පවතින ආර්ථික හා මූල්‍ය දුෂ්කරතා මැද වුවත් විශ්‍රාම වැටුප් හා පසු ප්‍රතිලාභ ගෙවීම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය අරමුදල් ලබාගෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පහසුකම් ලබා දීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි සමස්ත කාර්යය මණ්ඩලය දක්වන කැපවීම අගය කරනු ලැබූ අතර විශ්‍රාම වැටුප් සක්‍රීයකරණය කිරීම දිස්ත්‍රික් මට්ටමින් විමධ්‍යගත කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මෑත දී ගත් උත්සහය ඔහුගේ පැසසුමට හේතු විණි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සමඟ ඒකාබද්ධව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන මූල්‍ය, රක්ෂණ, සන්නිවේදන හා අනෙකුත් පහසුකම් පිළිබඳව විමසා ඒවා තව දුරටත් පුළුල් කිරීමට අවශ්‍ය උපදෙස් ද දෙනු ලැබීය.

අග්‍රාමාත්‍යවරයා මේ අවස්ථාවේ විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය සිදු කරනු ලබන දෙපාර්තමේන්තුවේ අංශ ගණනවකට යමින් නිලධාරීන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

          

 alt=