pic 1
  රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් 2020 නව වසර පිළිගැනීම හා රාජකාරී ආරම්භ කිරීමේ නිල උත්සවය අද (01) වන දා පෙ.ව 8.30 ට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී. ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමන් විසින් ජාතික ධජය හා අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර් පත්මප්‍රිය මහතා විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ධජය එසවීමෙන් අනතුරුව උත්සව අවස්ථාව ආරම්භ විය. මේ සඳහා වැඩමවා වදාළ පංචිකාවත්ත ශ්‍රී අභයසිංහාරාමාධිපති පූජ්‍ය දෙමළුස්සේ මේධංකර ස්වාමීන්වහන්සේ පිරිස පංචශීලයේ පිහිටුවා බෞද්ධ ආගමික වතාවත් ඉටු කළ අතර සෙත්පිරිත් සජ්ජායනාවක් සිදු කළ සේක.

අනතුරුව සර්ව ආගමික වතාවත් ඉටු කරමින් කතෝලික හින්දු හා ඉස්ලාම් පූජකවරුන් නව වසර සඳහා සුභාශිංසන එක් කරමින් ආශිර්වාද කරනු ලැබිණි.මෙම උත්සව අවස්ථාවට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සහභාගී වූ අතර විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමන් 2020 නව වසර සඳහා සුභාශිංසන එක් කරමින් ඉදිරි වසරේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ගමන්මඟ හා ජයගත යුතු ඉලක්කයන් පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් සිදු කළේය.

මේ අවස්ථාව සඳහා අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇතුළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සියලු මාණ්ඩලික නිලධාරීන් සහභාගී විය.උත්සවය අවසානයේ සියලු දෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සුභ සාධක සංගමය මඟින් සංවිධානය කෙරිණි.