pic 1

නව රජයේ ප්‍රතිපත්ති මාලාව වන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු සාක්ශාත් කරමින් රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම හා නිරවද්‍ය කිරීම සඳහා තොරතුරු තාක්ෂණය භාවිතාව බහුල කිරීම යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තවත් එක පියවරක් අද දින (2020-01-20) දින සනිටුහන් කරනු ලැබිණ.

ඒ යටතේ විශ්‍රාමික ජිවිත සහතික ලබා දීම නවීන තාක්ෂණය භාවිතා කරමින් ඇගිලි සලකුණු මාර්ගයෙන් සිදු කිරීම දිවයින පුරා නියමු ව්‍යාපෘතියක් ලෙස  ක්‍රියාත්මක කිරීම ගරු රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හා ගරු රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එහිදී ඇගිලි සලකුණු මගින් ජිවිත සහතිකය ලබා දීමේ අවස්තාව සංකේතවත් කරමින් විශ්‍රාමික නිලධාරිනියකගේ ජිවිත සහතිකය තාක්ෂණය උපයෝගී කරගනිමින් තහවුරු කිරීම සිදු විය. ඉන් අනතුරුව, මෙම කටයුත්ත දිවයින පුරා ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන තාක්ෂණික උපාංග ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දීම සංකේතවත් කරමින් ගරු අමාත්‍යතුමා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහකට උපකරණ ලබා දෙන ලදී. 

උත්සවයේදී අදහස් දැක්වූ ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ විශේෂයෙන්ම එහි තොරතුරු තාක්ෂණ අංශයට සිය විශේෂ ස්තුතිය සහ සතුට පල කරන ලදී. එසේම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව සාර්ථක කරගැනීමෙහිලා  සිදු කරන වැඩසටහන් ඉතා අගය කරන ලදී. විශේෂයෙන්ම දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සේවාලාභීන්ට කිසිඳු ප්‍රමාදයකින් තොරව තම සේවා ලබා ගැනීමට සකස් කර අති ක්‍රමවේදය එතුමා විසින් අගය කරන ලද අතරම තවදුරටත් සේවා ලාභී තෘප්තිය මැනීමේ වැදගත්කමද පෙන්වාදෙන ලදී.

එසේම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත්පාලන අමාත්‍යංශයේ ලේකම් සිරි හෙට්ටිආරච්චි මහතා අදහස් දක්වමින් අතිගරු ජනාධිපතිතුමා විසින් පසුගිය සතියේ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානින් කැඳවා රාජ්‍ය සේවය කාර්යක්ෂම හා මහජන හිතවාදී සේවාවක් බවට පත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලද බවත් එහිදී ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ගෙන යන ක්‍රියාපිළිවෙත් ඇගයීමට ලක්වුණ බවත් ප්‍රකාශ කරන ලදී. එසේම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අදහස් දක්වමින් සිය අමාත්‍යංශය යටතේ වන රාජ්‍ය ආයතන 7 ට රාජ්‍ය සේවය නගා සිටුවීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් පැවරී අති බවත් ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙසත් පැවසිය.

විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාලවලිය නියාමනය කිරීමේ එක වැදගත් අංගයක් ලෙස වාර්ෂික විශ්‍රාමික ජිවිත සහතිකය ලබා ගැනීම සැලකේ. මෙමගින්, විශ්‍රාමිකයාගේ තොරතුරු තහවුරු කර ගැනීම හා විශ්‍රාමිකයා මිය යාමෙන් පසුව ඒ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනුවත් නොකිරීම හේතුවෙන් සිදුවන වැඩිපුර ගෙවීම් අවම කර ගැනීම මෙම ක්‍රියාවලියේ ප්‍රධානම අරමුනයි.

සෑම වසරකම ජනවාරි පළමුවනදා සිට මාර්තු 31 වනදා දක්වා කාලය විශ්‍රාමික ජිවිත සහතික ලබා ගැනීමේ කාලය ලෙස නම් කර ඇත. ඒ අනුව 2020 වසරට අදාලව දිවයින පුරා විසිරි සිටින විශ්‍රාම වැටුප් ලාභින් 641,000 ක් තම පදිංචිය සනාත කරමින් ග්‍රාම නිලධාරී හරහා ජිවිත සහතික ලබා දීමට නියමිතය. ඒ අනුව සියලුම විශ්‍රාමිකයින් වෙත ජිවිත සහතික අයදුම්පතක් තැපැල් මගින් යොමු කරනු ලබන අතර එම අයදුම්පත්‍රය සම්පුර්ණ කර ග්‍රාම නිලධාරී මගින් සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතුය. පැරණි ක්‍රමය යටතේ එකතු කරගන්න ලද තොරතුරු නැවත විශ්‍රාම වැටුප් ගෙවීම් කළමනාකරණ පද්ධතියේ යාවත්කාලින කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලමගින් සිදු කරනු ලැබිණි. ඒ සඳහා විශාල කාලයක් හා මුදලක් වැය විණි.

නව ක්‍රමවේදය යටතේ විශ්‍රාමිකයන්ට කිසිදු අයදුම්පත් පිරවිමකින් තොරව තම ඇඟිලි සලකුණ පමණක් භාවිතයෙන් තම ජිවිත සහතිකය ලබා දීමේ අවස්තාව උදා කර දී ඇත. ඒ අනුව මුලික අදියර යටතේ 2016-01-01 ට පසු විශ්‍රාම ගිය විශ්‍රාමිකයන් සඳහා මෙම ක්‍රමවේදය 2020 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව අදාළ පහසුකම ලබා ගත හැකි ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මෙම පහසුකම ලබා ගැනීමේ හැකියාව විශ්‍රාමිකයාට සැලසෙන අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අමතරව ඒ සඳහා අවසරලත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛාවන් මගින්ද ඇගිළි සලකුණ මගින් ජිවිත සහතික ලබා දීමේ පහසුකම ලබා ගැනීමට විශ්‍රාමිකයාට අවස්තාව සැලසෙනු ඇත.

ඒ අනුව මෙම වැඩසටහන යටතේ රජයට වාර්ෂිකව ඉතා විශාල පිරිවැයක් ඉතිරි වන අතර විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය තවදුරටත් නිරවද්‍ය වීම තුලින් සිදුවිය හැකි වංචා අවම කිරීමක්ද සිදු වනු ඇත. තවද, මේ සඳහා අවශ්‍ය කරන මෘදුකාංග  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශය හා වාණිජ බැංකු හා පෞද්ගලික අංශයේ ආයතන එක්ව නිපදවා ඇති අතර රජයට කිසිඳු වැය බරක් නොමැතිව අදාළ කටයුතු සිදු කර තිබීම ද විශේෂත්වයකි.

උත්සවය අවසානයේ ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශය නිරීක්ෂණය කරන ලද අතර නවීන තාක්ෂණය භාවිතා කරමින් අභියෝගාත්මක ඉලක්ක ජය ගැනීම සඳහා නායකත්වය සැපයු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සේවයේ නිලධාරීන්ට සහ තොරතුරු තාක්ෂණ අංශයේ සියලුම දෙනාට සුබ පැතුම් එකතු කරන ලදී.