pic 1

 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රතිලාභ ලබන සමස්ත විශ්‍රාමිකයන් සංඛ්‍යාව මේ වන විට 6,51,120 දක්වා වර්ධනය වී ඇත.

 ඒ අනුව සැප්තැම්බර් මාසයේ විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ලෙස රු   බිලියන 19.5 ක මුදල ක් රජය විසින් ගෙවනු ලබයි.

 මෙම කරුණු සම්බන්ධයෙන් 2020.09.08 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනු රාජ්‍ය සේවා,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්   මැතිතුනන්ගේ විශේෂ අවධානයට ලක් වුණු අතර වැඩිවන විශ්‍රාම වැටුප් වියදම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.එමෙන්ම කොරෝනා වසංගත කාලය   තුළ රට අකර්මන්‍ය වී තිබිය දී විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් අඛණ්ඩව ගෙවීම් කළ විශ්‍රාම වැටුප් දෙපාර්තම්නේතුවේ ක්‍රියාකලාපය ගරු අමාත්‍යතුමන්ගේ පැසසුමට ලක් විය. කොරෝනා වසංගත   තත්ත්වයෙන් පසු රජයේ ආයතන නැවත ආරම්භ කිරීමත් සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අදාළ ආයතනවලින් අතපසු වූ අයදුම්පත් විශාල වශයෙන් එම ආයතනවලින් යොමු විය.

 ඒ අනුව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසු ගිය ජුලි,අගෝස්තු මාසවලදී දිවා රාත්‍රී මෙන්ම සති අන්ත නිවාඩු දිනයන් හි දී සේවය කරමින් එම අයදුම්පත්‍රවල කටයුතු කරන ලදී.පසු ගිය අගෝස්තු මාසය   තුළ පමණක් විශ්‍රාමිකයන් 4129 කගේ විශ්‍රාම වැටුප් සක්‍රීය කර ඇති අතර එය සාමන්‍යයෙන් මසකට ඉලක්කගත ප්‍රමාණය වන 2500 ප්‍රමාණය ඉක්මවා යාමකි.

 මීට අමතරව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සක්‍රීය කිරීම වඩාත් පහසු කරමින් අදාළ බලතල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දුන් අතර ඒ අනුව අගොස්තු මාසය තුළ පමණක් වැන්දඹු අනත්දරු විශ්‍රාම   වැටුප් 994 ක් සක්‍රීය කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් කටයුතුකර ඇත.මෙය ද මසකට සිදු කරන සාමන්‍ය වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ ප්‍රමාණය වන 800 ඉක්මවා යාමකි.

මේ වන විට 2020.08.21 දින දක්වා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලැබී ඇති සියලු අයදුම්පත්වල කටයුතු කර ඇති අතර සැප්තැම්බර් මාසය තුළ දී දැනට කටයුතු කිරීමට ඉතිරි වී ඇති අයදුම්පත් 1940 ක පමණ ප්‍රමාණයට ද සියලු කටයුතු සිදුකර අවසන් කිරීමටත් දෙපාර්තමේන්තුව සාමන්‍ය තත්ත්වයට ගෙන ඒමටත් බලාපොරොත්තු වේ.

මීට අමතරව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 231 මඟින් බලාත්මක රජයේ නිලධාරීන්ගේ සේවා කාලය තුළ වැන්දඹු අනත් දරු දායක මුදල් අය කිරීම සම්බන්ධ වාර්තා විධිමත් පරිදි නඩත්තු නොකිරීම තුළ නව විශ්‍රාමිකයන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු වුණු අතර ඒ සඳහා දැනට ලැබී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව තවදුරටත් සහන සලසමින් කඩිනමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා ප්‍රකාශ කරන ලදී.

තව ද රට හදන සෞභාග‍යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ඉදිරිපත් කර ඇති විශ්‍රාම වැටුප් සම්බන්ධ යෝජනා පිළිබඳව ද සාකච්ඡා කරන ලද අතර දැනටමත් එයින් ඉලක්ක කිහිපයක් ම සම්පූර්ණකර තිබීම සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කරන ලදී.එසේම තවදුරටත් කටයුතු කිරීමට ඇති යෝජනා පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද ගරු අමාත්‍යතුමා සග ලේකම්තුමා විසින් උපදෙස් ලබා දෙන ලදී.

සාකච්ඡාවෙන් අනතුරුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් වෙත ගොස් ඔවුන්ගේ කටයුතු අධික්ෂණය කිරීමට සහ එම නිලධාරීන් දිරිමත් කිරීමට ද ගරු අමාත්‍යවරයා සහ ලේකම්වරයා කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට ගරු රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා,රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා,රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ උපදේශක මහින්ද මඩිහේවා මහතා,විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත්ඩී.ඩයස් මහතා අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා,ප්‍රධාන ගණකාධිකාරී ඒ.ඩී.ටී.එන් අබේසිංහ මහතා ඇතුළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් සහභාහී විය.