pic 1

 විශ්‍රාමික ජීවිත සහතිකය ඇඟිලි සලකුණු ක්‍රමයට තහවුරු කිරීම සඳහා මහජන බැංකුවේ ශාඛා 75 කින් පහසුකම්...

විශ්‍රාමිකයන් විසින් සෑම වසරකම සිය ජීවත් වීමේ සහ පදිංචිය සනාථ කිරීමට අදාළ ජීවිත සහතිකය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යාවත්කාලීන කළ යුතු අතර එම ක්‍රියාවලිය සරල කරමින් සහ සංවර්ධනය කරමින් විශ්‍රාමිකයන් වෙත ඇඟිලි සලකුණු ඔස්සේ එම ක්‍රියාවලිය සිදු කිරීම ට අවශ්‍ය පහසුකම් සැලසීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2020 වර්ෂය ආරම්භයේ දී කටයුතු කරන ලදී.

ඒ අනුව 2020.01.21 දිනැති අංක 02/2020 දරණ චක්‍රලේඛය නිකුත් කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය. එමඟින් විශ්‍රාමිකයන්ගේ ජීවිත සහතිකය ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් තහවුරු කිරීමේ පැවති ක්‍රමවේදය වෙනස් කරන ලද අතර 2020.01.21 සිට ඇඟිලි සලකුණු ලබා දීමේ සරල පියවර අනුගමනය කරමින් තම ජීවිත සහතිකය ලබා දීමට විශ්‍රාමිකයන් වෙත අවස්ථාව සලසා දී තිබේ.

එහි ප්‍රථම අදියර ලෙස 2016.01.01 ට පසු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු දත්ත පද්ධතියේ ලියාපදිංචි වූ විශ්‍රාමිකයන් වෙත ඇඟිලි සලකුණු ඔස්සේ ජීවිත සහතිකය තහවුරු කිරීමේ අවස්ථාව හිමි විය. මෙම ක්‍රමවේදය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ වැඩපිළිවෙලේ පළමු අදියර යටතේ දිවයින පුරා නම් කරනු ලැබූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් ඔස්සේ ඇඟිලි සලකුණු මඟින් ජීවිත සහතික ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ විය.

පසුව මෙහි දෙවැනි අදියර යටතේ පෑන් ඒෂියා බැංකුවේ ශාඛා කාර්යාල 40 ක් ද මෙම ක්‍රියාවලිය සමඟ එක් වූ අතර විශ්‍රාමිකයන්ට සුළු මොහොතකින් සිය ඇඟිලි සලකුණු මඟින් ජීවිත සහතිකය ලබා දීමට හැකි පරිදි පහසුකම් සහ සේවා පුළුල් කරනු ලැබීය.

මෙම වැඩපිළිවෙල හා එක් වූ නවතම සාමාජිකයා බවට පත් වෙමින් මහජන බැංකුව, ඇඟිලි සලකුණු මඟින් මඟින් ජීවිත සහතිකය යාවත්කාලීන කිරීමට අවශ්‍ය පහසුකම් සිය ශාඛා කාර්යාල ඔස්සේ ලබා දීම පසු ගිය දා ආරම්භ කරන ලදී.ඒ අනුව හඳුනාගත් බැංකු පරිශීලකයන් සඳහා ඉදිරියේ දී දිවයින පුරා මහජන බැංකුවේ ශාඛා 75 කින් විශ්‍රාමිකයන්ට සිය ජීවිත සහතිකය තහවුරු කිරීමේ අවස්ථාව හිමි වේ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ මහජන බැංකුව අතර පසු ගිය දා ඇති වූ අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ජීවිත සහතික ඇඟිලි සලකුණු ඔස්සේ ලබා දීමේ ක්‍රියාවලියේ සමාරම්භක අවස්ථාව 2020.09.23 වැනි දින මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා,ප්‍රධාන විධායක නිලධාරි රංජිත් කොඩිතුවක්කු මහතා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා ඇතුළු නිලධාරීන් සහ විශ්‍රාමික රජයේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු සහභාගී විය.