pic 1

 'ශ්‍රී ලංකා විශ්‍රාම' ග්‍රන්ථය නිකුත් වේ

වසර 1970 දී ‘A’ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාවගේ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අරමුණින් පිහිට වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ගමන් මඟට අඩසියවසක් සපිරීම අර්ථාන්විතව සැමරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වැඩසටහන් කිහිපයක් දියත් කළ අතර එහි එක් පියවරක් ලෙස 'ශ්‍රී ලංකා විශ්‍රාම' ග්‍රන්ථය 2020.10.08 වැනි දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී ගරු රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් සහ ගරු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමන් වෙත පිරිනමන ලදී.

'ශ්‍රී ලංකා විශ්‍රාම' ග්‍රන්ථය මෙරට විශ්‍රාම වැටුප් ක්‍රමයේ විකාශය, විශ්‍රාම වැටුප් ගණනය කිරීමේ ක්‍රමවේදය, වැන්දඹු/වැන්දඹු පුරුෂ/හා අනත්දරු විශ්‍රාම වැටු ක්‍රමය,විශ්‍රාම වැටුප් දීමනා හා ප්‍රතිලාභ මෙන්ම විශ්‍රාමිකයන්ගේ සමාජ ආරක්ෂණය හා සුභ සාධනය උදෙසා වූ නවොත්පාදන වැඩසටහන් ඇතුළු විශ්‍රාම වැටුප් විෂය ක්ෂේත්‍රයේ සමස්තය අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් වේ. විශ්‍රාම වැටුප් හා බැඳුණු සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි විද්‍යාත්මකව සකස් කරනු ලැබු පළමු ග්‍රන්ථය ලෙස මෙය විශ්‍රාම වැටුප් විෂය ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති රික්තයක් පූර්ණය කරනු ලබන්නකි.

වැඩිහිටි සමාජ ආරක්ෂණය පිළිබඳ පූර්වාදර්ශී මෙහෙවරක නිරත වන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අඩසියවසක අත්දැකීම් සහ පරිචය ඔස්සේ මෙරට විශ්‍රාම වැටුප් ක්‍රමයේ දිශානතිය තීරණය කළ යුතු ආකාරය පිළිබඳ දෙපාර්තමේන්තු අධ්‍යයනයන් ද මෙම කෘතියේ අන්තර්ගත වේ.අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ද මෙරට විශ්‍රාම වැටුප් ක්‍රමයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් යෝජිත නව සංකල්පයන් කිහිපයක් ඉදිරිපත් වී තිබෙන අතර ඒ හා සමගාමී සමාජ කතිකාවකට මෙන්ම පුළුල් අධ්‍යයනයක් සඳහා මෙම කෘතිය මඟ පෙන්වීම් සිදු කරනු ලබයි.

විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ සේවය අවසන් කර විශ්‍රාම දිවියට එළැඹෙන විශ්‍රාමිකයා සෑම අතින්ම සුරක්ෂිත බව වසර 50 ක් ඉක්මවන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය තුළ නැවත නැවතත් තහවුරුකර දී තිබේ.එම සුරක්ෂිතභාවය රටේ සමස්ත ජනතාව වෙත තහවුරු කිරීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්මයි.ඒ අනුව දැනට විශ්‍රාම වැටුප් නොලබන සියලු දෙනාට සහභාගී විය හැකි සමාජ ආරක්ෂණ වැඩසටහනක් පිළිබඳව “සැමට විශ්‍රාම” (Pension for All) සංකල්පය ඔස්සේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් මේ වන විටත් යෝජනා ඉදිරිපත් කර ඇති අතර ‘ශ්‍රී ලංකා විශ්‍රාම’ කෘතියෙහි මේ පිළිබඳ දෙපාර්තමේන්තුවේ පර්යේෂණාත්මක අධ්‍යයනයන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර ඇත.