forigen pen21

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවය ලබා දෙන සියලු විශ්‍රාමිකයන් ඇතුළු ලංකාවාසී සියලුම ජනතාව වෙත ලැබූ නව වසර නීරෝගිමත් සහ සෞභාග්‍යමත් වසරක් වේවා යැයි ප්‍රථමයෙන් සුභාශිංසන එක් කරමි. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වැඩියෙන්ම අවධානමට ලක් වූයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි  ප්‍රජාවයි.එම අවස්ථාවේ වැඩිහිටි ප්‍රජාව වෛරස අවදානමෙන් ආරක්ෂා කරගැනීම කෙරෙහි ඉහළම අවධානය ලබා දුන් සහ එන්නත්කරණයේ දී ද ඔවුන් වෙත ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කළ සියලු පාර්ශවයන් වෙත කෘතඥතාවය පිරිනැමීමට මෙය අවස්ථාවක් ගනිමි.

2022 නව වසර උදා වන විට මෙරට සමස්ත විශ්‍රාමිකයන්ගේ ප්‍රමාණය හයලක්ෂ හැත්තෑ දෙදහසක ප්‍රමාණය ඉක්මවා ගොස් තිබේ. පසුගිය වසර පහක පමණ කාලය තුළ 157,000 කට ආසන්න විශ්‍රාමිකයන් ප්‍රමාණයක් අප පවුලට එක් වී ඇති අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වගකීම් සම්භාරය වැඩි කරමින් ඉදිරියේ දී තව දුරටත් පුළුල් වනු ඇත.විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මෙරට සමාජ ආරක්ෂණයේ දැවැන්ත භූමිකාවක් ඉටු කරමින් වර්තමාන මෙන්ම අනාගත විශ්‍රාමිකයා කෙරෙහි ද විශිෂ්ඨ සේවාවක් ඉටු කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින අතර දෙපාර්තමේන්තුවේ නව්‍යකරණයන් සියල්ල එම පුරෝකථනයේ ප්‍රතිඵලයක් වේ.

වසර 2020 සහ 2021 කාලය කොවිඩ්-19 වසංගත තත්තවය හේතුවෙන් අභියෝග සහ දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වූ කාල වකවානුවකි.කොවිඩ්-19 වසංගතයේ තුන්වෙනි රැල්ල හේතුවෙන් උද්ගත වූ තත්ත්වය හමුවේ නැවත වතාවක් රට වසා දැමීමට සිදුවු අතර එම අවස්ථාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරින් බොහෝ ප්‍රමාණයක් ද කොවිඩ්-19 වෛරසයට ගොදුරු විය. එම දුෂ්කර අවස්ථාවේ වුවත් විශ්‍රාම වැටුප දිනකින් හෝ ප්‍රමාද නොවන අයුරින් විශ්‍රාමිකයන් අතට පත් කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ට උපරිමයෙන් කටයුතු කිරීමට හැකි වීම පිළිබඳ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මා තුළ ඇත්තේ අප්‍රමාණ සතුටකි.ඒ වෙනුවෙන් කැප වුණු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ රාජකාරී කරන මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යලයන් හි සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි විශ්‍රාම වැටුප් විෂය භාර ව කටයුතු කරන සියලුම නිලධාරීන් වෙත කෘතඥතාවය පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

ශ්‍රී ලංකා පුරවැසියකුගේ උපතේ දී ආයු අපේක්ෂාව වැඩි වීම සාපේක්ෂව ඉහළ යාම හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණය ශීඝ්‍රයෙන් වැඩිවීමට නියමිතය. ඊට සාපේක්ෂව අනාගතයේ දී  රටේ ශ්‍රම බලකායේ තරුණ සහභාගීත්වය අඩු වනු ඇත. මෙකී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙරට වැඩිහිටි ප්‍රජාව ශ්‍රම බලකායට දායක කර ගැනීම සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය කටයුතු කිරීම පසු ගිය වසරේ ගත් වැදගත් ප්‍රතිපත්තිමය තීන්දුවකි. ඒ අනුව වර්තමාන රාජ්‍ය සේවකයන්ට සිය ශ්‍රමය වැඩි කාලයක් රාජ්‍ය වෙනුවෙන් ලබා දීමට අවස්ථාව හිමි වී තිබේ. විශ්‍රාම වියට පා තැබූ ඔබට ද තවදුරත් ඔබේ ශ්‍රමය දැනුම,පරිචය සහ කාලය රාජ්‍ය වෙනුවෙන් පිරිනැමිය හැකිය.විශ්‍රාම වියට එලැඹීම යනු දුබලතාවයට පත් වීම යැයි ද අසරණවීමක් යැයි ද හඳුන්වා දෙන විවිධ සංවිධානයන් හි මතවාද කර පින්නා නොගත යුතුව ඇත.

රටක ඉතිරි කිරීම් හා ආයෝජන වැඩිවීම රටක සංවර්ධනයට සෘජුව බලපාන්නකි.විවිධ ආයෝජන අවස්ථාවන් වෙත යොමු වෙමින් පෞද්ගලිකව මෙන්ම රටේ ආර්ථිකයට ද ශක්තියක් වීමට ඔබට හැකියාව තිබේ.

නව වසරේ නව උදාව ඔබේ ජීවිතයට මෙන්ම රටට ද ආලෝකයක් කර ගනිමින් නව ආර්ථික අවස්ථා පිළිබඳ අවධානය යොමු කර වැඩි වැඩියෙන් වැඩ කර රට තාවකාලික ආර්ථික අභියෝගයකට මුහුණ දී අවස්ථාවේ හැකි තාක් ඔබේ දැනුම පරිචය සහ අත්දැකීම් ආර්ථික සමාජයීය සංවර්ධනය වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලමි.

උදා වූ නව වසර ඔබ සැමට නිදුක් නීරෝගී සෞභාග්‍යමත් නව වසරක් වේවා!