fb banner

 

 

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිංහල දමිළ අලුත් අවුරුදු පණිවුඩය
 
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එක් වීමයි. සහෝදරත්වයෙන්  යා වීමයි. වාර්ගික වශයෙන්, ජාතීන් වශයෙන්, දේශපාලනික වශයෙන් බෙදී වෙන්වී නොගොස් එකමුතු වී එක්සත් වීම සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ සැබෑම හරය විය.ඇත්ත වශයෙන්ම රටේ සියලුම පුරවැසියන් ජාති ආගම් භේදයකින් තොරව එකට එක් කළ වෙනත් සංස්කෘතික උළෙලක් අපේ රටට නැති තරම් ය.
 
නිදහසින් පසු වසර 74 කට අධික කාලයක් සියලු පුරවැසියන්ගේ දායකත්වයෙන්  නිර්මාණය කර ගත් වියවුල් රැසක් පරිසමාප්තියට පත් වුණු මොහොතක තවත් සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් උදා වී තිබේ. 
 
එසේ වුවද අලුත් අවුරුද්දෙහි සැබෑ හරය අමතක කළ යුතු නැත. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන සුවිශේෂි කාල සීමාව තුළ රටක් ලෙස අපගේ දිශානතිය කොයිබට විය යුතුද යන්න සිතීමට වෙන් කර ගැනීම සුදුසුය.
 
ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුවද  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා එහි කාර්ය මණ්ඩලය, සියලු රාජ්‍ය ආයතන, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, තැපැල් පති ප්‍රමුඛ එම කාර්ය මණ්ඩල, රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු, ග්‍රාමීය බැංකු ඇතුළු සමස්ත පද්ධතියේම සහාය ලබා ගෙන 675,000 ක පමණ වන ඔබ වෙත අඛණ්ඩව විශ්‍රාමික ප්‍රතිලාභ ලබා දීම සඳහා කැපවූ බව සිහිපත් කරමි.
 
රටේ වියතුන්, උගතුන්, බුද්ධිමතුන් හා අත්දැකීම් බහුල පරිණත මිනිසුන්ගේ විශාලතම එකමුතුව ලෙස ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාව හඳුන්වාදිය හැකිය. ඔබගේ අදහස් හා මතවාදයන් හි වෙනස්කම්,එකඟවීම් සහ විරෝධතාවයන් එසේම තබාගෙන අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස සිදු  වූ වැරදි හා අතපසුවීම් පසෙකලා රට පෙරටුව තබාගෙන යහපත් ආකල්ප සහිත තරුණ ප්‍රජාවක් ගොඩනැඟීම සඳහා ඔබේ තරුණ දරුවන්ට, දරු මුණුපුරන්ට ඒ මඟ කියාදීම සඳහා මේ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද යොදාගන්නා ලෙස ඉල්ලමි.
 
ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබ සැමටත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටත් ශ්‍රී ලංකාවාසී සෑම සියලු දෙනාටත් සාමය,සහනය,සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!
 
ඒ ජගත් ඩී ඩයස්
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්