forigen pen21

 

 

 

 

 

 ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාවට ගෞරවයක් ලෙස සෑම වසරකම ඔක්තෝබර් 08 වෙනි දා ජාතික විශ්‍රාමික දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර 2022 ඔක්තෝබර් 08 ජාතික විශ්‍රාමික දිනයට සමගාමීව "විශ්‍රාම වැටුප සක්‍රීයකරණය විමධ්‍යගත කිරීම” ආරම්භ කෙරිණි.

එහි පළමු අදියරේ ප්‍රථම වැඩසටහන මාතර දිස්ත්‍රික්කය මූලික කරගනිමින් 2022.10.08 වැනි දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  ආරම්භ විය.

ඒ අනුව ඉදිරියේ දී ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් විශ්‍රාම ගන්වනු ලබන නව විශ්‍රාමිකයන්ට, තම විශ්‍රාම වැටුප් සක්‍රීය කර ගැනීම සඳහා අනිවාර්යයෙන් සහභාගි විය යුතු “සත්කාර පියස” සම්මුඛ පරීක්ෂණයට කොළඹ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට නොපැමිණ මාතර දිස්ත්‍රික්කය තුළදී ම සහභාගි වීමට අවස්ථාව හිමි වේ.

“සත්කාර පියස” විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණයේ දී විශ්‍රාම වැටුප් දත්ත පද්ධතියේ ඇති තොරතුරු සමඟ සන්සන්දනය කරමින් භෞතික වශයෙන් විශ්‍රාමිකයාගේ අනන්‍යතාවය හඳුනාගන්නා අතර ඔහුගේ පසු ප්‍රතිලාභීන්ගේ හිමිකම් තහවුරු කරමින් විශ්‍රාමිකයා ජීවතුන් අතර සිටියදීම ඔහුගේ වැන්දඹු අනත්දරු ලිපි ගොණුව යාවත්කාලීන කිරීම සිදු කෙරේ. තව ද විශ්‍රාමිකයන්ගේ ජීවිත සහතික ඇඟිලි සලකුණු මඟින් ලබා දීම සඳහා අවශ්‍ය කෙරෙන ඇඟිලි සලකුණු ලබා ගැනීම ද මෙහි දී සිදු වේ.

අනතුරුව විශ්‍රාමිකයාගේ ප්‍රථම විශ්‍රාම වැටුප සක්‍රීය කෙරෙන අතර විශ්‍රාම වැටුප් හිමිකම් පත්‍රය සහ විශ්‍රාම වැටුප් හැඳුනුම් පත්‍රය පිරිනැමීම සිදු විය.

"සත්කාර පියස" සම්මුඛ පරීක්ෂණය ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලියට සහභාගී වීම සඳහා දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමේ දී ඇතිවන දුෂ්කරතා මෙන්ම රටේ වර්තමාන තත්ත්වය හේතුවෙන්  ප්‍රවාහන වියදම් අධික වීම වැනි කරුණු සලකා බලා විශ්‍රාමිකයන්ට සිය පදිංචි දිස්ත්‍රික්කය තුළදී ම හෝ ආසන්න දිස්ත්‍රික්කයක කාර්යාලයක දී එම සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වී සිය තොරතුරු යාවත්කාලීන කිරීමට අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව සත්කාර පියස විමධ්‍යගත කිරීම ඉදිරියේ දී මාතර,අනුරාධපුර,බදුල්ල,මහනුවර හා කුරුනෑගල යන දිස්ත්‍රික්ක පහ මූලික කරගනිමින් ආරම්භ කිරීමට නියමිතය. මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූයේ එහි පළමු අදියරේ ප්‍රථම වැඩසටහනයි.

රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු මෙම වැඩසටහනට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් වයි වික්‍රමසිරි මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ගණකාධිකාරිවරුන්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ “සත්කාර පියස” සම්මුඛ පරීක්ෂණයට සිය දිස්ත්‍රික්කය තුළදීම පෙනී සිටීමට අවස්ථාව හිමි වුණු නවක විශ්‍රාමිකයන් රැසක් ද සහභාගී විය. එසේම ඒ සඳහා ආරාධනා ලැබූ පැරණි විශ්‍රාමිකයන් ද මෙම අවස්ථාවට සහභාගි විය.



          

 alt=