forigen pen21

 

 

 

 

 

“ජාතික විශ්‍රාමික දිනය-2022” සමගාමීව මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලද විශ්‍රාම වැටුප් සක්‍රීයකරණය විමධ්‍යගතකරණ වැඩසටහන කුරුනෑගල, බදුල්ල හා අනුරාධපුර දිස්ත්‍රික්කයන් හි ආරම්භ කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබීය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණිමකින් තොරව  විශ්‍රාමිකයන්ට ඔවුන්ගේ දිස්ත්‍රික්කය තුළදී ම හෝ ආසන්න දිස්ත්‍රික්කයක දී විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටීමට මෙමඟින් අවස්ථාව හිමි වේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේ දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමේ දී විශ්‍රාමිකයන්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සහ අධික ප්‍රවාහන වියදම් වැනි ගැටලු රැසකට විසඳුමක් ලබා දීමේ අරමුණෙනි.

කොවිඩ් -19 වසංගත කාල සීමාවේ දී ගාල්ල, මාතර හා මහනුවර දිස්ත්‍රික්කයන් හි ජංගම සේවා වැඩසටහනක් ලෙස ප්‍රථම වතාවට මෙම වැඩසටහන 2020  සහ 2021 වර්ෂයන් හි දී ආරම්භ කරනු ලැබිණි.

මේ සඳහා විශ්‍රාමිකයන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාර සලකා බලමින් විශ්‍රාම වැටුප් සක්‍රීයකරණය විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියේ පළමු අදියරේ ප්‍රථම වැඩසටහන 2022.10.08 වැනි දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ කරන ලැබුවේ ඉන් අනතුරුවයි.

ඉන්පසු 2022.10.12 වැනි දින කුරුනෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සහ 2022.10.14 වැනි දින  අනුරාධපුරය හා බදුල්ල යන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි දී එම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබිණි.

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැන්වෙන නිලධාරින්ගේ පළමු විශ්‍රාම වැටුප සක්‍රීය කිරීමට පෙර ඔවුන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ඇති මාර්ගගතව (Online) ඇතුළත් කරනු ලැබූ තොරතුරු සමඟ ඔවුන්ගේ අනන්‍යතාවය සන්සන්දනාත්මකව තහවුරු කළ යුතු අතර එහි දී විශ්‍රාමිකයන් ජීවතුන් අතර සිටියදී ම ඔවුන්ගේ පසු ප්‍රතිලාභීන්ගේ හිමිකම් ද තහවුරු කිරීමේ වගකීම ඔවුනට ලැබේ.

සෑම වසරකම විශ්‍රාමිකයන් විසින් ලබා දිය යුතු ජීවිත සහතික ජෛවමිතික (Biometric) ක්‍රමවේදය ඔස්සේ ලබා දීම සඳහා අවශ්‍ය ඇඟිලි සලකුණු ලබා ගැනීම ද මෙහි දී සිදු වේ.

විශ්‍රාමිකයන්ගේ පළමු විශ්‍රාම වැටුප් ගෙවීම සක්‍රීය කිරීම සිදු කෙරෙන්නේ මෙම ක්‍රියාවලියෙන් අනතුරුවයි. ඔවුන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් පත්‍රය පිරිනැමීම හා විශ්‍රාම වැටුප් හැඳුනුම්පත්‍රය පිරිනැමීම ද සිදු කෙරේ.

          

 alt=