forigen pen21

 රාජ්‍ය සේවයට බැඳෙන සෑම නිලධාරියෙකුගේම සේවයේ ආරම්භයේ සිට අවසානය දක්වාත් සම්බන්ධ වන විශ්‍රාම වැටුප් හා පසු ප්‍රතිලාභත් කළමනාකරණය කරනු ලබන රාජ්‍ය ආයතනය වන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අයත්වන අමාත්‍යාංශයෙහි විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය  හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් 2022.10.27 වැනි දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු කාර්යභාරය නිරීක්ෂණය කිරීමේ විශේෂ චාරිකාවකට එක් විය.

රාජ්‍ය සේවයෙන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 බවට පත් කිරීමේ රජයේ ප්‍රතිපත්තිමය තීරණය අනුව 2022.12.31 විශ්‍රාම ගැන්වෙන 12,000 කට අධික රාජ්‍ය සේවකයන් ඇතුළුව 2023 වර්ෂයේ විශ්‍රාම ගැන්විය හැකි බවට ඇස්තමේන්තුගත කර ඇති රාජ්‍ය සේවකයන් 28,000 කට අධික විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප්  කළමනාකරණය කරමින් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් විශ්‍රාම ගැන්වෙන පසු මාසයේ දී ම සක්‍රීය කර ගැනීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සකස් කර ඇති වැඩ පිළිවෙල පිළිබඳ මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විණි.

විෂය භාර අමාත්‍යවරයා ලෙස මැදිහත් වී ලබාගත් කැබිනට් මණ්ඩල අනුමැතිය අනුව යමින් මේ වන විට විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටින විශ්‍රාමිකයන් සඳහා එම පාරිතෝෂික ගෙවීම ට අවශ්‍ය අක්මුදල් මහා භාණ්ඩාගරය වෙතින් ලබා ගැනීම කඩිනම් කිරීමට කටයුතු කිරීම කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ මූලික අවධානය යොමු විය.

එමෙන්ම විශ්‍රාමිකයන් කෙරෙහි බලපාන විෂය ගැටලු ගණනාවක් කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබීය. රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව වන අවු.45 ඉක්මවා මධ්‍යම රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනයන්ට බඳවා ගැනීම් ස්ථිරවම නතර කිරීම සහ දැනට බඳවා ගෙන විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ඉල්ලුම් කරන සේවකයින් සම්බන්ධයෙන් පොදු තීරණයක් ගැනීම හා 2015 න් පසු පත්වීම් ලද රාජ්‍ය නිලධාරීන් සඳහා හිමිවන විශ්‍රාම වැටුප් ක්‍රමයක් නිශ්චිතව හඳුන්වාදීම කෙරෙහි ද අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරවීමට කටයුතු කරන ලදී.

රටේ පවතින ආර්ථික හා මූල්‍ය දුෂ්කරතා මැද වුවත් විශ්‍රාම වැටුප් හා පසු ප්‍රතිලාභ ගෙවීම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය අරමුදල් ලබාගෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පහසුකම් ලබා දීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි සමස්ත කාර්යය මණ්ඩලය දක්වන කැපවීම අගය කරනු ලැබූ අතර විශ්‍රාම වැටුප් සක්‍රීයකරණය කිරීම දිස්ත්‍රික් මට්ටමින් විමධ්‍යගත කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මෑත දී ගත් උත්සහය ඔහුගේ පැසසුමට හේතු විණි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සමඟ ඒකාබද්ධව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන මූල්‍ය, රක්ෂණ, සන්නිවේදන හා අනෙකුත් පහසුකම් පිළිබඳව විමසා ඒවා තව දුරටත් පුළුල් කිරීමට අවශ්‍ය උපදෙස් ද දෙනු ලැබීය.

අග්‍රාමාත්‍යවරයා මේ අවස්ථාවේ විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය සිදු කරනු ලබන දෙපාර්තමේන්තුවේ අංශ ගණනවකට යමින් නිලධාරීන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

          

 alt=