pic 1
 2019 අයවැය ප්‍රාකශනය අනුව 2016.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම රජයේ හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේත් ඔවුන්ගේ වැන්දඹුවන්ගේත් විශ්‍රාම වැටුප 2017 වර්ෂයේ රජයේ වැටුප් ව්‍යුහයන්ට සමාන්තර වන ලෙස පරිවර්තනය මේ වන විට ක්‍රියාත්මක අතර වැටුප් ගැළපීම සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද නව වැඩපිළිවෙල පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ හයවන අදියර ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ සාකච්ඡාමය වැඩසටහනක් 2019.06.20 දින දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සේවය කරනු ලැබූ සේවා කාලය සලකා සිදු කිරීමට නියමිත විශ්‍රාම වැටුප් පරිවර්තනයේ දී වසර 25ක සේවා කාලය සම්පූර්ණ කරනු ලැබූ නිලධාරීන්හට 43% ක උපරිමයකට යටත්ව විශ්‍රාම වැටුප් වැඩිවීමක් සිදු වනු ඇති බව මෙහිදී සඳහන් විය.

එම වැටුප් වැඩිවීම් වලට අනුව විශ්‍රාම වැටුප් සඳහා මසකට දරන වියදම ද රු.මිලියන 2000 කින් පමණ වැඩි වනු ඇතැයි ද සාකච්ඡා කෙරිණි. විශ්‍රාම වැටුප් පරිවර්තන ක්‍රියාවලිය මාර්ගගතව සිදු කිරීම සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතිය වැඩි දියුණු කරමින් හඳුන්වා දුන් නව තොරතුරු තාක්ෂණ මෙවලම අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් භාවිත කළ යුතු ආකාරය පිළිබඳවත් ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරීන් විශ්‍රාම වැටුප් පරිවර්තන කාර්යය සඳහා යොමු කළ යුතු ආකරයත් පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

එසේම අදාළ විශ්‍රාම වැටුප් පරිවර්තනය ක්‍රියාත්මක වන දිනය වන 2019 ජුලි 01 වන විට විශ්‍රාමිකයන් බහුතරයකගේ විශ්‍රාම වැටුප් පරිවර්තනය කිරීම සම්පූර්ණ කිරීම සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය ලබා දෙන ලෙස ද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත්.ඩී ඩයස් මහතා විසින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කරන ලදී. මෙම වැඩසටහන සඳහා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත්.ඩී ඩයස් මහතා,අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ආර් පත්මප්‍රිය මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සහභාගී විය.