forigen pen21

 

 

 

 

 

 

 

 

 

 

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සුභ සාධක සංගමය මඟින් ලැබුවා වූ 2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් සංවිධානය කළ 'බක්මහ සැණකෙළිය' 2024.04.27 දින දවස පුරා කැලණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු පරිශ්‍රයේ දී පැවැත්විණි.

විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය සමඟ වසර පුරා කාර්යබහුල හා අවිවේකී ජීවන රටාවක නියුතු දෙපාර්තමේන්තු නිලධාරීන්ට මද විරාමයක් වූ අවුරුදු උළෙල සාම්ප්‍රදායික හා නවීන අවුරුදු ක්‍රීඩා සහ විශේෂාංග රැසකින් සමන්විත විණි.

දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දූ  දරුවන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන ලද ක්‍රීඩා සහ විනෝදාත්මක වැඩසටහන්,මියුරු DJ සැදෑවක් සමඟ දෙපාර්තමේන්තුවේ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟයකින් ද අවුරුදු උළෙල වර්ණවත් විය.

මෙම අවස්ථාවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී.ඩයස් මහතා, අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුජානි පෙත්තාවඩු මහත්මිය, දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් මෙන්ම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලැබූ සහ ස්ථානමාරු ලබා ගිය මාණ්ඩලික නිලධාරීන් රැසක් සමඟ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සේවයේ නියුතු සහ දෙපාර්තමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවය කරන නිලධාරීන් 350කට අධික පිරිසක් සහභාගී විය.

          

 alt=             
                          

 

forigen pen21

සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුමෙන් අනතුරුව නව වසරේ ප්‍රථම රාජකාරී දිනය සනිටුහන් කළ අද (16) දිනයේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් චිරාගත සම්ප්‍රදායන්ට අනුකූලව රාජකාරී කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.

මෙහි දී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත්.ඩී ඩයස් මහතා 710,000 ක් ඉක්මවූ සියලුම විශ්‍රාමික ප්‍රජාව ඇතුළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධාරීන් වෙත අලුත් අවුරුදු සුභාශිංසන එක් කිරීමට කටයුතු කරනු ලැබීය.

නවීන තොරතුරු තාක්ෂණ ක්‍රියාවලියක් හා බද්ධව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලබන සියලුම නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ උරුමකරුවන්ගේ පසු ප්‍රතිලාභ තහවුරු කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දරණ ඉමහත් පරිශ්‍රමය පිටුපස ඇප කැපවූ සියලු නිලධාරීන් වෙත එතුමාගේ කෘතඥතාවය හිමි විය. ගත වූ අභියෝග සම්පන්න කාලවකවානුවෙහි විශ්‍රාම වැටුප් ක්‍රමය පවත්වාගෙන යාම සාර්ථකව ජයගත් පරිද්දෙන්ම විශ්‍රාමිකයන් මුහුණ දෙන අර්බුද සඳහා පොදු විසඳුම් සොයමින් සෑම අතින්ම සුරක්ෂිත විශ්‍රාම වැටුප් ක්‍රමයක් ගොඩ නැගීම සඳහා අලුත් අවුරුද්ද සමඟ උදා වුණු ඉදිරි කාලය කැප කළ යුතු බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමන් මෙහිදී සඳහන් කළේය.

අධ්‍යක්ෂ ජනරල්තුමන්ගේ සංකල්පයකට අනුව සෑම වසරකම සිදු කරනු ලබන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර සහ බාහිර පරිසරය පිරිසිදුව සහ විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසවෙන පිරිසිදු කිරීමේ සේවාවන් හි නිරත සේවක මහත්ම මහත්මීන් අගය කිරීම ද මෙහි දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරල්තුමන්, අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුජානි පෙත්තාවඩු මහත්මිය ඇතුළු සියලුම නිලධාරීන් සහභාගි විය. විශ්‍රාම වැටුප් සක්‍රීය කරනු ලබන සත්කාර පියස සම්මුඛ පරීක්ෂණය සඳහා මෙන්ම විවිධ කාරණා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව වෙත පැමිණි විශ්‍රාමිකයන් සඳහා අවශ්‍ය සේවාවන් සපයන අතරතුර පැවැත්වුණු මෙම කෙටි සැමරුම් උළෙලෙන් පසු දෙපාර්තමේන්තු සුභ සාධක සංගමය මඟින් සංවිධානය කළ අවුරුදු කෑම මේසය භුක්ති විඳීමට ද එම විශ්‍රාමිකයන් ඇතුළු නිලධාරීන් සියලු දෙනා එක්ව සිටියහ.

 alt=             
                          

 

forigen pen21

 ශ්‍රී ලාංකිකයන් වන අප සැමගේ සිත් සතන්වල සාමය,සතුට සහ ප්‍රේමය පුරවන කාල සීමාව බක් මාසය සමඟ උදා වේ. ජාතියෙන්, ආගමෙන්, තනතුරෙන්, ආර්ථික හා සමාජයීය තත්ත්වයෙන්, දේශපාලනයෙන් පමණක් නොව එකම රටක් තුළ පළාතෙන්, ප්‍රදේශයෙන් පවා බෙදී වෙන් වී ගිය අපට බක් මාසය උදාවීමත් සමඟ එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු ආශිර්වාදයකි. එකමුතු වීමෙත් එක්සත් වීමේත් සංකේතයකි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පදනම සුබ හෝරාවන්ය. ආහාර ගැනීම, වැඩ ඇල්ලීමේ සිට රාජකාරී සඳහා පිටත්ව යාම දක්වා සියලු කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීම ඒ ඔස්සේ සිදු වේ. "සුබ" යන සිතුවිල්ලෙන් ආරම්භ කරන ඕනෑම කටයුත්තක දී ධනාත්මක බව මූලික වන නිසා එය සාර්ථක වීමේ සම්භාවිතාව වැඩිය. එම අර්ථයෙන් ගත් කළ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ දී අපේ ජීවිතයට බද්ධ සෑම කර්තව්‍යයක්ම "සුබ" මොහොතින් සිදු කරන අතරම වසර පුරාවටත් මුළු ජීවිත කාලයත් සර්ව ප්‍රකාරයෙන්ම "සුබ" කර ගැනීමේ සිතුවිල්ල ක්‍රියාත්මක වේ. ඇත්ත වශයෙන්ම "සුබ" හෝරාවට ද ඉහළින් පවතින්නේ "සුබ" යන සිතුවිල්ලයි.

එබැවින් වසර සිය දහස් ගණනක් පුරා අප විසින් ඉටු කළ නැකැත් හෝරාවන් පිළිබඳ කවර තර්ක පැවැතියත් කුමන මතවාද ගැටුම් පැවතියත් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන කාල සීමාව පුරාවට සුබ සහ ධනාත්මක සිතුවිලි පෙරදැරිව චාරිත්‍ර වාරිත්‍රවල නිරත වීම බෙහෙවින් වටින බව මාගේ හැඟීමයි. සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්ලය තුළ සැඟවී තිබෙන මෙම අප්‍රකාශිත සත්‍යයන් මතු පරපුරට දායාද කිරීම අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ ප්‍රජාවගේ පරම වගකීමකි. දුවා දරුවන් මුණුපුරන් පිරිවරාගෙන අලුත් අවුරුද්ද සමරන සේවයෙන් ඉසිඹු ලැබූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයින් වන ඔබ සියලු දෙනා එහි දී පෙරමුණ ගත යුතුය.

2024 අයවැය යෝජනා අනුව විශ්‍රාමිකයන්හට වැඩි කළ ජීවන වියදම් දිමනාව අවුරුදු මාසයේ විශ්‍රාම වැටුපට හිමි ගැන්වූ බව දන්වන්නට ලැබීම ද සතුටකි. ඒ අනුව මේ වන විට ජීවන වියදම් හිමි විශ්‍රාමිකයන්ට ඔවුන්ට හිමි ජීවන වියදම් ප්‍රතිශතය අනුව වැඩිකළ ජීවන වියදම් දීමනාව වන රු.2500 ක මුදලක් හිමි වේ. එසේ වුවත් එම හිමි ගැන්වීම ඇතුළුව මේ වන විට විශ්‍රාමිකයන්ට පිරිනමන ජීවන වියදම් දීමනාව ප්‍රමාණවත් නොවන බවත් එය රාජ්‍ය සේවකයින්ට මෙන් 2024 ජනවාරි මාසයේ සිට නොලැබීම පිළිබඳවත් විශ්‍රාමිකයා තුළ ඇති වේදනාව ද අපට හොඳාකාරවම දැනෙන බව කිව යුතුය. කියන්නට ඇත්තේ එම කාරණාව ඇතුළු විශ්‍රාමිකයන්ට මේ මොහොතේ බලපා ඇති බොහෝ ගැටලු පිළිබඳ විශ්‍රාමික සංගම් නියෝජනය කරන විශ්‍රාමිකයන්, රජය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අතර ඇති කරගෙන සිටින සංවාදයන් පිළිබඳ 'සුබවාදීව' සිටින ලෙසයි.

මේ වන විට 7,10,000 ක් ඉක්මවා සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමික ඔබ සැමටත්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව කටයුතු කරන නිලධාරින් සැම දෙනාටත් ශ්‍රී ලංකාවාසී ඔබ සැමටත් ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය,සතුට,සහනය සහ නිරෝගීකම පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි. ඒ.ජගත්.ඩී ඩයස් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් -