නවතම පුවත් සහ සිදුවීම්
ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාවට ගෞරවයක් ලෙස සෑම වසරකම ඔක්තෝබර් 08 වෙනි දා ජාතික විශ්‍රාමික දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර 2022 ඔක්තෝබර් 08 ජාතික විශ්‍රාමික දිනයට සමගාමීව "විශ්‍රාම වැටුප සක්‍රීයකරණය විමධ්‍යගත කිරීම” ආරම්භ කෙරිණි.
එහි පළමු අදියරේ ප්‍රථම වැඩසටහන මාතර දිස්ත්‍රික්කය මූලික කරගනිමින් 2022.10.08 වැනි දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ විය.
ඒ අනුව ඉදිරියේ දී ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් විශ්‍රාම ගන්වනු ලබන නව විශ්‍රාමිකයන්ට, තම විශ්‍රාම වැටුප් සක්‍රීය කර ගැනීම සඳහා අනිවාර්යයෙන් සහභාගි විය යුතු “සත්කාර පියස” සම්මුඛ පරීක්ෂණයට කොළඹ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට නොපැමිණ මාතර දිස්ත්‍රික්කය තුළදී ම සහභාගි වීමට අවස්ථාව හිමි වේ.
“සත්කාර පියස” විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණයේ දී විශ්‍රාම වැටුප් දත්ත පද්ධතියේ ඇති තොරතුරු සමඟ සන්සන්දනය කරමින් භෞතික වශයෙන් විශ්‍රාමිකයාගේ අනන්‍යතාවය හඳුනාගන්නා අතර ඔහුගේ පසු ප්‍රතිලාභීන්ගේ හිමිකම් තහවුරු කරමින් විශ්‍රාමිකයා ජීවතුන් අතර සිටියදීම ඔහුගේ වැන්දඹු අනත්දරු ලිපි ගොණුව යාවත්කාලීන කිරීම සිදු කෙරේ. තව ද විශ්‍රාමිකයන්ගේ ජීවිත සහතික ඇඟිලි සලකුණු මඟින් ලබා දීම සඳහා අවශ්‍ය කෙරෙන ඇඟිලි සලකුණු ලබා ගැනීම ද මෙහි දී සිදු වේ.
අනතුරුව විශ්‍රාමිකයාගේ ප්‍රථම විශ්‍රාම වැටුප සක්‍රීය කෙරෙන අතර විශ්‍රාම වැටුප් හිමිකම් පත්‍රය සහ විශ්‍රාම වැටුප් හැඳුනුම් පත්‍රය පිරිනැමීම සිදු විය.
"සත්කාර පියස" සම්මුඛ පරීක්ෂණය ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලියට සහභාගී වීම සඳහා දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමේ දී ඇතිවන දුෂ්කරතා මෙන්ම රටේ වර්තමාන තත්ත්වය හේතුවෙන් ප්‍රවාහන වියදම් අධික වීම වැනි කරුණු සලකා බලා විශ්‍රාමිකයන්ට සිය පදිංචි දිස්ත්‍රික්කය තුළදී ම හෝ ආසන්න දිස්ත්‍රික්කයක කාර්යාලයක දී එම සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වී සිය තොරතුරු යාවත්කාලීන කිරීමට අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනුව සත්කාර පියස විමධ්‍යගත කිරීම ඉදිරියේ දී මාතර,අනුරාධපුර,බදුල්ල,මහනුවර හා කුරුනෑගල යන දිස්ත්‍රික්ක පහ මූලික කරගනිමින් ආරම්භ කිරීමට නියමිතය. මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූයේ එහි පළමු අදියරේ ප්‍රථම වැඩසටහනයි.
රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු මෙම වැඩසටහනට විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් වයි වික්‍රමසිරි මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ගණකාධිකාරිවරුන්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ “සත්කාර පියස” සම්මුඛ පරීක්ෂණයට සිය දිස්ත්‍රික්කය තුළදීම පෙනී සිටීමට අවස්ථාව හිමි වුණු නවක විශ්‍රාමිකයන් රැසක් ද සහභාගී විය. එසේම ඒ සඳහා ආරාධනා ලැබූ පැරණි විශ්‍රාමිකයන් ද මෙම අවස්ථාවට සහභාගි විය.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ ඉදිරියේ දී ඇති වීමේ අවධානමක් මතුව තිබෙන ආහාර අර්බුදය සඳහා දෙපාර්තමේන්තු නිලධාරීන් සූදානම් කිරීමක් ලෙස බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ වෙමින් ගෙවතු වගා කිරීම පිළිබඳව දැනුම්වත් කිරීම හා ඒ සඳහා නිලධාරීන් දිරිමත් කිරීමේ වැඩසටහනක් 2022.06.08 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
නාගරික පරිසරයේ සීමිත ඉඩ ප්‍රමාණයක් පවතින නිවාසවල මෙන්ම අනෙකුත් නිවාසවල ගෙවතු වගාවන් සඳහා යොමු විය හැකි නවීන ක්‍රම පිළිබඳ මෙහි දී අවධානය යොමු කෙරුණු අතර වගාවක් සඳහා බීජ සකස් කර ගැනීම, තවාන් දැමීම, කාබනික පොහොර නිර්මාණය කර ගැනීම ආදී අංශ ගණනාවක් පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන් භෝග වගා කිරීමේ දී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික ගැටළු තාක්ෂණික කරුණු පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙහි දී සාකච්ඡා විය.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සුභ සාධක සංගමයේ අනුග්‍රහයෙන් දෙපාර්තමේන්තුගත සියලුම නිලධාරීන් වෙත භෝග වර්ග කිහිපයකට අදාළව වටිනා බීජ පැකැට්ටු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය සහ ගෙවතු වගාව පිළිබඳ තොරතුරු අන්තර්ගත කෙරුණු ග්රන්ථයක් ලබා දීම ද මෙහි දී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට බස්නහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර පළාත් අධ්යක්ෂ ගීතානි ස්වරණලතා මහත්මිය,කෘෂිකර්ම උපදේශක සී.එන්.එස් දිල්හාන් මහතා සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ඩී.එම්.පී ජයවර්ධන මහතා ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගි විය.








නවතම පුවත් සහ සිදුවීම්
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කාර්යබහුල වැඩ අධික හා අභියෝගාත්මක 2023 නව වසරේ රාජකාරී අරඹයි.
- අග්‍රාමාත්‍යවරයා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක
- විශ්‍රාම වැටුප් සක්‍රීයකරණය විමධ්‍යගත කිරීම තවත් දිස්ත්‍රික්ක තුනක දී ආරම්භ වේ.
- විශ්‍රාම වැටුප් සක්‍රීයකරණය විමධ්‍යගත කිරීම ඇරඹේ
- ගෙවතු වගා කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිරිමත් කිරීමේ වැඩසටහනක්