pic 1

 'ශ්‍රී ලංකා විශ්‍රාම' ග්‍රන්ථය නිකුත් වේ

වසර 1970 දී ‘A’ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාවගේ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අරමුණින් පිහිට වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ගමන් මඟට අඩසියවසක් සපිරීම අර්ථාන්විතව සැමරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වැඩසටහන් කිහිපයක් දියත් කළ අතර එහි එක් පියවරක් ලෙස 'ශ්‍රී ලංකා විශ්‍රාම' ග්‍රන්ථය 2020.10.08 වැනි දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී ගරු රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් සහ ගරු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමන් වෙත පිරිනමන ලදී.

'ශ්‍රී ලංකා විශ්‍රාම' ග්‍රන්ථය මෙරට විශ්‍රාම වැටුප් ක්‍රමයේ විකාශය, විශ්‍රාම වැටුප් ගණනය කිරීමේ ක්‍රමවේදය, වැන්දඹු/වැන්දඹු පුරුෂ/හා අනත්දරු විශ්‍රාම වැටු ක්‍රමය,විශ්‍රාම වැටුප් දීමනා හා ප්‍රතිලාභ මෙන්ම විශ්‍රාමිකයන්ගේ සමාජ ආරක්ෂණය හා සුභ සාධනය උදෙසා වූ නවොත්පාදන වැඩසටහන් ඇතුළු විශ්‍රාම වැටුප් විෂය ක්ෂේත්‍රයේ සමස්තය අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් වේ. විශ්‍රාම වැටුප් හා බැඳුණු සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි විද්‍යාත්මකව සකස් කරනු ලැබු පළමු ග්‍රන්ථය ලෙස මෙය විශ්‍රාම වැටුප් විෂය ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති රික්තයක් පූර්ණය කරනු ලබන්නකි.

වැඩිහිටි සමාජ ආරක්ෂණය පිළිබඳ පූර්වාදර්ශී මෙහෙවරක නිරත වන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අඩසියවසක අත්දැකීම් සහ පරිචය ඔස්සේ මෙරට විශ්‍රාම වැටුප් ක්‍රමයේ දිශානතිය තීරණය කළ යුතු ආකාරය පිළිබඳ දෙපාර්තමේන්තු අධ්‍යයනයන් ද මෙම කෘතියේ අන්තර්ගත වේ.අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ද මෙරට විශ්‍රාම වැටුප් ක්‍රමයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් යෝජිත නව සංකල්පයන් කිහිපයක් ඉදිරිපත් වී තිබෙන අතර ඒ හා සමගාමී සමාජ කතිකාවකට මෙන්ම පුළුල් අධ්‍යයනයක් සඳහා මෙම කෘතිය මඟ පෙන්වීම් සිදු කරනු ලබයි.

විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ සේවය අවසන් කර විශ්‍රාම දිවියට එළැඹෙන විශ්‍රාමිකයා සෑම අතින්ම සුරක්ෂිත බව වසර 50 ක් ඉක්මවන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය තුළ නැවත නැවතත් තහවුරුකර දී තිබේ.එම සුරක්ෂිතභාවය රටේ සමස්ත ජනතාව වෙත තහවුරු කිරීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්මයි.ඒ අනුව දැනට විශ්‍රාම වැටුප් නොලබන සියලු දෙනාට සහභාගී විය හැකි සමාජ ආරක්ෂණ වැඩසටහනක් පිළිබඳව “සැමට විශ්‍රාම” (Pension for All) සංකල්පය ඔස්සේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් මේ වන විටත් යෝජනා ඉදිරිපත් කර ඇති අතර ‘ශ්‍රී ලංකා විශ්‍රාම’ කෘතියෙහි මේ පිළිබඳ දෙපාර්තමේන්තුවේ පර්යේෂණාත්මක අධ්‍යයනයන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර ඇත.

 

 

pic 1

 විශ්‍රාමික ජීවිත සහතිකය ඇඟිලි සලකුණු ක්‍රමයට තහවුරු කිරීම සඳහා මහජන බැංකුවේ ශාඛා 75 කින් පහසුකම්...

විශ්‍රාමිකයන් විසින් සෑම වසරකම සිය ජීවත් වීමේ සහ පදිංචිය සනාථ කිරීමට අදාළ ජීවිත සහතිකය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යාවත්කාලීන කළ යුතු අතර එම ක්‍රියාවලිය සරල කරමින් සහ සංවර්ධනය කරමින් විශ්‍රාමිකයන් වෙත ඇඟිලි සලකුණු ඔස්සේ එම ක්‍රියාවලිය සිදු කිරීම ට අවශ්‍ය පහසුකම් සැලසීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2020 වර්ෂය ආරම්භයේ දී කටයුතු කරන ලදී.

ඒ අනුව 2020.01.21 දිනැති අංක 02/2020 දරණ චක්‍රලේඛය නිකුත් කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය. එමඟින් විශ්‍රාමිකයන්ගේ ජීවිත සහතිකය ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් තහවුරු කිරීමේ පැවති ක්‍රමවේදය වෙනස් කරන ලද අතර 2020.01.21 සිට ඇඟිලි සලකුණු ලබා දීමේ සරල පියවර අනුගමනය කරමින් තම ජීවිත සහතිකය ලබා දීමට විශ්‍රාමිකයන් වෙත අවස්ථාව සලසා දී තිබේ.

එහි ප්‍රථම අදියර ලෙස 2016.01.01 ට පසු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු දත්ත පද්ධතියේ ලියාපදිංචි වූ විශ්‍රාමිකයන් වෙත ඇඟිලි සලකුණු ඔස්සේ ජීවිත සහතිකය තහවුරු කිරීමේ අවස්ථාව හිමි විය. මෙම ක්‍රමවේදය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ වැඩපිළිවෙලේ පළමු අදියර යටතේ දිවයින පුරා නම් කරනු ලැබූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් ඔස්සේ ඇඟිලි සලකුණු මඟින් ජීවිත සහතික ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ විය.

පසුව මෙහි දෙවැනි අදියර යටතේ පෑන් ඒෂියා බැංකුවේ ශාඛා කාර්යාල 40 ක් ද මෙම ක්‍රියාවලිය සමඟ එක් වූ අතර විශ්‍රාමිකයන්ට සුළු මොහොතකින් සිය ඇඟිලි සලකුණු මඟින් ජීවිත සහතිකය ලබා දීමට හැකි පරිදි පහසුකම් සහ සේවා පුළුල් කරනු ලැබීය.

මෙම වැඩපිළිවෙල හා එක් වූ නවතම සාමාජිකයා බවට පත් වෙමින් මහජන බැංකුව, ඇඟිලි සලකුණු මඟින් මඟින් ජීවිත සහතිකය යාවත්කාලීන කිරීමට අවශ්‍ය පහසුකම් සිය ශාඛා කාර්යාල ඔස්සේ ලබා දීම පසු ගිය දා ආරම්භ කරන ලදී.ඒ අනුව හඳුනාගත් බැංකු පරිශීලකයන් සඳහා ඉදිරියේ දී දිවයින පුරා මහජන බැංකුවේ ශාඛා 75 කින් විශ්‍රාමිකයන්ට සිය ජීවිත සහතිකය තහවුරු කිරීමේ අවස්ථාව හිමි වේ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ මහජන බැංකුව අතර පසු ගිය දා ඇති වූ අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ජීවිත සහතික ඇඟිලි සලකුණු ඔස්සේ ලබා දීමේ ක්‍රියාවලියේ සමාරම්භක අවස්ථාව 2020.09.23 වැනි දින මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා,ප්‍රධාන විධායක නිලධාරි රංජිත් කොඩිතුවක්කු මහතා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා ඇතුළු නිලධාරීන් සහ විශ්‍රාමික රජයේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු සහභාගී විය.

 

 

pic 1

 විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ස්වර්ණ ජයන්තිය සහ ජාතික විශ්‍රාමික දිනය-2020 සැමරෙයි.

වසර 1970 දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ A ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට 2020 වසර වන විට වසර 50 ක් පිරීම නිමිත්තෙන් දෙපාර්තමේන්තුවේ අර්ධ ශත සංවත්සරය සැමරීම සහ දශක තුනක පමණ කාලයක් රාජ්‍ය සෙවයේ නිරත වෙමින් රට වෙනුවෙන් තමන්ගේ සේවාව ඉටු කර විශ්‍රාම ලැබූ සියලු රාජ්‍ය සේවක ප්‍රජාව උදෙසා ගෞරවය පුදකරමින් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාතික විශ්‍රාමික දිනය-2020 සමරනු වස් ඔක්තෝබර් 08 වැනි දින පැවැත්වීමට සංවිධානය කර තිබූ සැමරුම් උළෙල සහ තාක්ෂණික වැඩමුළුව කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රටෙහි උද්ගත වී ඇති වාතාවරණය හමුවේ කල් දැමීමට කටයුතු කරන ලදී.

දෙපාර්තමේන්තුවේ ස්වර්ණ ජයන්තියට සමගාමීව බුද්ධිමය කතිකාවකට ප්‍රවේශයක් වශයෙන් එළි දැක්වීමට සංවිධානය කර තිබූ 'ශ්‍රී ලංකා විශ්‍රාම’ ග්‍රන්ථය එළි දැක්වීම,'සැමට විශ්‍රාම' යෝජනාවලිය ඉදිරිපත් කිරීම, සංවත්සර සැමරුම සඳහා මුල් දින කවරයක් සහිත සමරු මුද්දරය නිකුත් කිරීම සහ දිනමිණ පුවත්පතේ 'පරපුරක අභිමානය' විශේෂ අතිරේකය එළි දැක්වීම නිමිත්තෙන් 2020.10.08 වැනි දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබීය. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ ම විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ දැමීම සහ රාජ්‍ය අංශයේ නිලධාරීන්ට හිමි වන විශ්‍රාම වැටුප් ක්‍රමය පදනම් කරගෙන මෙරට පෞද්ගලික අංශයේ සේවකයින් ට ද විශ්‍රාම ප්‍රතිලාභ යෝජනා කරමින් හා මෙරට දැවැන්තම සමාජ ආරක්ෂණ ක්‍රමය වන විශ්‍රාම වැටුප් ක්‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සම්පාදනය කළ 'සැමට විශ්‍රාම' යෝජනාවලිය මෙහි දි සියලු පාර්ශවයන්ගේ අවධානයට යොමු කෙරිණි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අභිමානවත් 50 වසරක මෙහෙවරට සුභාසිංසන එක් කළ ගරු රාජ්‍ය සේවා,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ වන විටත් මෙම යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ද පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළේය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය අනාගත දැක්ම ප්‍රකාශයට පත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ද මෙරට විශ්‍රාමිකයා සුරකින විශ්‍රාම වැටුප් ක්‍රමයේ දිශානතිය සකස් විය යුතු ආකාරය පිළිබඳවත් රටේ සංවර්ධනයට දායක වන පුද්ගලික අංශයට,විදෙස්ගත ශ්‍රමිකයන්ට වැවිලි ආශ්‍රිත සේවකයින්ට ද විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා දීමට යෝජනා කර ඇත.මේ පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කර ඉදිරිපත් කළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ යෝජනාවලිය ඉදිරි ප්‍රතිපත්තිමය තීන්දු සඳහා උපකාර වනු ඇතැයි අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

වර්තමානයේ රජය විසින් විශ්‍රාමිකයන් 653,000 අධික සංඛ්‍යාවකට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා මසකට රු. කෝටි 2000 කට ආසන්න මුදලක් වියදම් කරනු ලබයි. කවර අභියෝගාත්මක වාතාවරණයක දී වුව ද රජය මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියා කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දෙමින් විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කළ බවත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දීප ව්‍යාප්තව ආයතන ගණනාවක් සමඟ මනා සම්බණ්ධීකරණයෙන් යුතුව ගෙවුණු අඩසියවස තුළ මැනවින් එම ගෙවීම් ක්‍රියාවලිය සිදු කිරීමට කටයුතු කරන ලද බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා මෙහි දි අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

එසේම වසර 50ක් පුරාවට රජයේ සේවයේ විශ්‍රාමිකයන්ට සිය සේවාවන් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ රජයේ සේවයේ නියුතුව විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රතිලාභ ලබා දීමේ සමාජ ආරක්ෂණ ක්‍රමයේ පුරෝගාමියා බවට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පත් වී ඇති බවත් ඒ ලැබූ පන්නරය මඟින් රටේ සමස්ත වැඩිහිටි ප්‍රජාවටම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවත් පෙන්වා දෙන ලදී. ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයේම වැඩිහිටි ජනගහණය එනම් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ යමින් පවතී.මෙම වර්ධනය හමුවේ ලෝකය පුරා වැඩ කරන ශ්‍රම බලකායේ වසස් සීමාව උපරිම කිරීම පිළිබඳ සලකා බලමින් සිටින අතර වැඩිවන ජනගහණයට සාපේක්ෂව අනාගතයේ දී වැඩකරන ශ්‍රම බලකායේ අඩු වීම ද සලකා බලමින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමට කටයුතු කිරීමට යෝජනා කරන බව විශ්‍රාම වැටුප් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පෙන්වා දුන්නේය.එබැවින් අප රටේ වැඩ කිරීමේ ශක්‍යතාවය සහිත ශාරිරික නීරෝගී බවින් යුත් රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සඳහා වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මේ වන විටත් රජයේ අවධානයට යොමු කර තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.

විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම, පෞද්ගලික අංශයට ද විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම, රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප් ක්‍රමය සුරක්ෂිත කිරීම,විශ්‍රාම වැටුප් ක්‍රමයකින් ආවරණය නොවන සියලු දෙනාට විශ්‍රාම වැටුප් ප්‍රතිලාභයක් ලැබෙන බවට තහවුරු කිරීම පිළිබඳ සාකච්ඡා කෙරෙන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සිව්වැදෑරුම් යෝජනාවලිය සම්බන්ධයෙන් ඕනෑම පුරවැසියකුට සහභාගි විය හැකි සංවාදමය අවකාශයක් නිර්මාණය කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති අතර ඔක්තෝබර් 08 වැනි දා සිට ක්‍රියාත්මක This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනය ඔස්සේ සිය අදහස් සහ යෝජනාවන් ඉදිරිපත් කිරීමට ද ජනතාවට අවස්ථාව ලබා දී තිබේ.

මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාවට ගරු රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා,ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා,ප්‍රවෘත්ති අධ්‍ය්කෂ ජනරාල් නාලක කලුවැව මහතා,තැපැල්පති රංජිත් ආරියරත්න මහතා,විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී ඩයස් මහතා,අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සහභාගී විය.

 

ඡායාරූප අනුග්‍රහය: රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඡායාරූප අංශය