pic 1
  2016.12.31 දක්වා විශ්‍රාම ගිය සියලු රජයේ නිලධාරීන්,ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ වැන්දඹු අනත්දරු හිමිකම් ලාභීන්ගේ විශ්‍රාම වැටුප්, 2019 අයවැය යෝජනා අනුව 2017 රජයේ වැටුප් ව්‍යුහයන්ට සමාන්තර ලෙස සංශෝධනය කිරීම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සාර්ථක අන්දමින් සිදු කෙරුණු අතර තවදුරටත් සංශෝධනය කිරීම සඳහා වන ගැටලු සහිත විශ්‍රාම වැටුප් ලිපිගොණු අධ්‍යයනය කරමින් විසඳුම් ලබා දීමේ වැඩපිළිවෙලක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඔස්සේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙකී විශ්‍රාම වැටුප් සංශෝධන ක්‍රියාවලිය නිවැරදිව සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් නව තොරතුරු තාක්ෂණ මෘදුකාංගයක් හඳුන්වා දුන් අතර ඇතැම් විශ්‍රාම වැටුප් ලිපිගොණුවල පවතින දෝෂ තත්ත්වයන් හේතුවෙන් දත්ත නිවැරදිව මෙකී තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමට නොහැකි වීම හේතුවෙන් පැන නැඟුණු ගැටලු රාශියක් මෙහිදී හඳුනා ගෙන තිබේ. ඒ අනුව පැන නැඟෙන ප්‍රතිපත්තිමය සහ නීතිමය තත්ත්වයන් දැඩි අවධානයකට ලක් කරමින් විසඳුම් ලබා දීම මෙහි දී සිදු වේ.

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ බුද්ධික අමල් ජයතිස්ස මහතා සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණික උපදේශක එඩ්වඩ් පෙරේරා මහතාගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනේ ආරම්භක සැසිය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පසු ගිය දෙසැම්බර් මස 16 දා පැවැත්විණි.ඒ අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය වන පරිදි මෙම වැඩසටහන අදියර ගණනාවක් යටතේ පැවැත්වීමට නියමිතය.  



pic 1

 


  

 

 

 

 

 

 

   

 සෑම වසරකම ආරම්භයේ විශ්‍රාමිකයින් විසින් ලබා දිය යුතු විශ්‍රාමික ජීවිත සහතික අයදුම්පත් හා වැටුප් විස්තර ලේඛණය විශ්‍රාමිකයින් වෙත ලබා දීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇත. ඒ අනුව දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අදාල ලේඛන විශ්‍රාමිකයින් වෙත තැපැල් මගින් හා ග්‍රාම නිලධාරින් මගින් බෙදා දීම සිදු කෙරේ.තවද විශ්‍රාම වැටුප්  දෙපාර්තමේන්තු නිල   වෙබ් අඩවියට පිවිසීමෙන්ද වාර්ෂික ජීවිත සහතික අයදුම්පත් ලබා ගැනීමට විශ්‍රාමිකයාට හැකියාව ඇත.

ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.pensions.gov.lk වෙත පිවිසීමෙන් හෝ ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මෙම ජිවිත සහතිකය නොමිලයේම විශ්‍රාමික ඔබට ලබා ගැනීමේ හැකියාව පවතී. මෙලෙස ජිවිත සහතික ලබා ගැනීමේදී කිසිඳු බාහිර පාර්ශවයක මැදිහත් වීමක් හෝ කිසිඳු ආකාරයක මුදල් ගෙවිමක් අවශ්‍ය නොවන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සියළු විශ්‍රාමිකයින් වෙත අවධාරණය කර සිටී.

මෙම ජීවිත සහතිකය පුරවා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මගින් සහතික කර 2020.03.31 දිනට  ප්‍රථම ඔබගේ ප්‍රාදේශීය ලේකම්   කාර්යාලය වෙත ගෙනැවිත් බාර දිය යුතු අතර, එදිනට පෙර ජිවිත සහතික ලබා නොදෙන විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් 2020 මැයි මාසයේ සිට නතර කිරිමට සිදුවන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක විවැ/දි.ස/ජී.ස/2020 හා 2019.12.06 ලිපියෙන් දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනීම සඳහා සෘජුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශය හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇමතීමෙන් ලබා ගත හැකිය. 












pic 1
  හය ලක්ෂ තිස් දහසකට අධික ශ්‍රී ලාංකික විශ්‍රාමික ප්‍රජාව වෙත විශ්‍රාම වැටුප් ගෙවීම් ඔවුන්ගේ හිමිකම් නියමිත වේලාවට නිවැරදිව හිමිගැන්වීමේ ක්‍රියාවලියෙහි නිරත වන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එකී ක්‍රියාවලිය වඩා විනිවිදභාවයකින් යුතුව සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව සිදු කිරීම සඳහා සඳහා 2020 වසර සඳහා වන සැලසුම් මේ වන විටත් සකස් කර ඇත.

දැනට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් මඟින් ක්‍රියාත්මක වන විවිධ සේවාවන් විශ්‍රාමිකයන්ට තම පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින්ම ඉටු කරගෙන අවසන් කර ගැනීමට අවස්ථාව සලසා දීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එහි එක් පියවරක් ලෙස වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ආරම්භ කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින්ම සිදු කිරීමට අවශ්‍ය පද්ධති වෙනස්කම් සිදු කිරීමට මේ වන විටත් ආරම්භ කර ඇත.

විශ්‍රාමිකයකු මිය ගිය පසු ඔහුගේ විශ්‍රාම වැටුප අත්හිටුවා එම විශ්‍රාමිකයාට අදාළ වැන්දඹු හා අනත්දරු අයදුම්පත ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසු එම ලේඛණ පරීක්ෂා කර වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සක්‍රීය කිරීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැන්දඹු අනත්දරු අංශය මඟින් සිදු කිරීම මෙතෙක් පැවතගෙන ආ ක්‍රමවේදය වේ.මේ සඳහා යම් කිසි කාලයක් ගත වූ අතර බොහෝ වැන්දඹුවන්ට විශ්‍රාමිකයා මියගිය මාසයට පසු මාසයේ ම මෙම ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි විය.

නව ක්‍රමවේදය අනුව වැන්දඹු හා අනත්දරු අයදුම්පත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ගෙන්වීමකින් තොරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලයලත් නිලධාරියකුගේ පරීක්ෂාව යටතේ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ම සක්‍රීය කිරීමට කටයුතු කරනු ලැබේ.ඒ අනුව විශ්‍රාමිකයකු මියගිය මාසයට පසු මාසයේ ම වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සක්‍රීය කිරීමට හැකියාව උදාවන අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අයදුම්පත් යොමු කිරීමෙන් සිදු වූ ප්‍රමාදයන් ද මඟ හැරී යනු ඇත.

පසු ගිය ජුලි මාසයේ ක්‍රියාත්මක වූ විශ්‍රාම වැටුප් පරිවර්තන ක්‍රියාවලියේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වන ලද විශිෂ්ට කාර්යක්ෂම ශූරභාවය අනුව මෙම කාර්යය ද වඩා විධිමත්ව විනිවිදව ඉටු කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හැකි බව මේ වන විට හඳුනා ගෙන ඇත. එසේම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිහිටවූ දින සිට මේ දක්වා වැන්දඹු අනත්දරු යෝජනා ක්‍රමයට අදාළව පවත්වාගෙන ආ සියලු ලිපි ලේඛණ පරිලෝකනය (Scan) කර එම සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පරිශීලනය කිරීමට මේ වන විට අවස්ථාව සලසා දී ඇත. තව ද සෑම රජයේ නිලධාරියකු ම විශ්‍රාම යන අවස්ථාවේ එක්වරක් පමණක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ගෙන්වන අතර එම නිලධාරියාගේ සියලු තොරතුරු පරීක්ෂා කර විශ්‍රාමිකයාගේ විශ්‍රාම දිවිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සත්කාර පියස මඟින් ක්‍රියාත්මක කරන ලදී. එහි එක් අංගයක් ලෙස වැන්දඹු අනත්දරු හිමිකම තහවුරු කර වැන්දඹු අනත්දරු හිමිකම් පත්‍රයක් සෑම විශ්‍රාමිකයකුට ම විශ්‍රාම යන අවස්ථාවේ ම පිරිනමනු ලබයි. ඒ අනුව නව ක්‍රමවේදය තුළ එම වැන්දඹු අනත්දරු හිමිකම් පත්‍රය මත පිහිටා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සක්‍රීය කර දීමට ඉතා පහසුවෙන් කර දීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල උනන්දු කරවනු ලබයි. එබැවින් දීර්ඝ හා වියදම් අධික ක්‍රියාවලියක් වන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් සක්‍රීය කිරීමේ ක්‍රියාවලිය වඩා පහසු ක්‍රියාවලියක් බවට පත් කිරිමට මේ වන විට අවශ්‍ය පරිසරය නිර්මාණය වී ඇත. මෙයට අමතරව පසු ගිය විශ්‍රාම වැටුප් සංශෝධනය සමඟ මෙතෙක් අසම්පූර්ණව පැවැති විශ්‍රාම වැටුප් කළමනාකරණ දත්ත පද්ධතිය මේ වන විට ප්‍රශස්ත මට්ටමකට සංවර්ධනය කර ගැනීමට ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට හැකියාව ලැබිණි.ඒ අනුව ඕනෑම විශ්‍රාමිකයකුගේ විශ්‍රාම වැටුප රජයේ නියමයන්ට අනුකූලව කිසිදු ප්‍රමාදයකින් තොරව පරිවර්තනය කිරීමට හා සංශෝධනය කිරීමට හැකියාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට මේ වන විට හිමිකර ගෙන ඇත.එමඟින් ඉදිරියේ දී සිදු කරන විශ්‍රාම වැටුප් සංශෝධනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට වැඩි බරක් නොදී ස්වයංක්‍රීයව සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හිමි කරගෙන ඇත.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කරගෙන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට වාර්ෂිකව ඉදිරිපත්වන 15000 කට ආසන්න විශ්‍රාම වැටුප් සංශෝධන අයදුම්පත් කළමනාකරණය කිරීම සඳහා ද නව තොරතුරු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.එසේම නව කළමනාකරණ පද්ධතිය හරහා වැඩිපුර ගෙවීම් අවම කර ගැනීමට හා හිඟ විශ්‍රාම වැටුප් ගෙවීම ඇතිවීම වළක්වා ගැනීමට ද අවශ්‍ය පහසුකම් සලසා දීම සිදු කරනු ලබයි.

මෙම නව ක්‍රියාවලීන්ට අදාළ කටයුතු 2020 ජනවාරි මාසයේම ආරම්භ කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතීන් නිර්මාණය හා චක්‍රලේඛ විධිවිධාන මේ වන විටත් සැකසෙමින් පවතී.ඒ අනුව විශ්‍රාමිකයින්ගේ කටයුතු තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහාම කර ගැනීමට අවස්ථාව සලසා දීම තුළින් ඉදිරියේ දී විශ්‍රාමිකයාගේ විශ්‍රාම දිවිය තව දුරටත් සුවපහසු වනු ඇත.