pic 1
 2019 අයවැය යෝජනා අනුව 2017.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය නිලධාරීන් සඳහා වන වැටුප් විෂමතා ඉවත් කිරීමේ පූර්ව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2019.06.18 දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නව ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් මීට පෙර පැවැත්වූ වැඩසටහන් මාලාවේ 5 වන වැඩසටහන ලෙස මෙවර පැවැත්වෙන්නේ විශ්‍රාම වැටුප් නිලධාරීන් සඳහා වන දෙවන වැඩසටහනයි.

මේ සඳහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල නියෝජනය කරමින් තෝරාගත් විශ්‍රාම වැටුප් නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූ අතර 1/2019 විශ්‍රාම වැටුප් චක්‍ර ලේඛනයට අනුව විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේදී මතුවන විවිධ ගැටලු සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කෙරිණි. මීට අමතරව වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව පරිගණක වැඩසටහන හඳුන්වා දීමද, මෙහිදී සිදු කෙරිණි.

විශේෂයෙන්ම මෙම වැටුප් විෂමතා ඉවත් කිරිම එළඹෙන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කළ යුතු බව ද එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි. මේ අවස්ථාව සඳහා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත්.ඩී ඩයස්, අතිරේක විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් රවීන්ද්‍ර පත්මප්‍රිය යන මහත්වරුන් සහභාගී වූ අතර, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ (පාලන), විශ්‍රාම වැටුප් සහකාර අධ්‍යක්ෂ (පාලන), විශ්‍රාම වැටුප් සහකාර අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති) හා විශ්‍රාම වැටුප් සහකාර අධ්‍යක්ෂ (මානව සම්පත්) යන මහත්වරුන් ද සහභාගී විය. 





pic 1
 අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ නිර්මල සදහම් පණිවුඩය මෙරටට රැගෙන ආ උතුම් පොසොන් පොහොය නිමිති කරගනිමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් 2019.06.14 වැනි දින දවස පුරා ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැන දෙමින් අෂ්ටාංග උපෝසථ ශීල ප්‍රතිපදාවෙහි කටයුතු කරන ලදී. අභයසිංහාරාම විහාරාධිපති පූජ්‍ය මේධංකර ස්වාමීන් වහන්සේ දෙපාර්තමේන්තු නිලධාරීන් අෂ්ටාංග ශීලයෙහි පිහිටුවා ධර්ම දේශනා පැවැත්වූ සේක.

ඕඩේ විහාරස්ථානයෙහි (ශ්‍රී ලංකා විද්‍යාලය ) වැඩ වාසය කරන පූජ්‍ය ඉඳුරුවේ සුජීව,පූජ්‍ය වීරපානේ සීල සුමන ස්වාමීන් වහන්සේලාගේ සුමධුර,කාලීන ධර්ම දේශනාවන් ඇතුළු දාන,ශීල,භාවනා ආදී ආගමික වතාවත් රැසක් මෙහි දී සිදු විය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සුභ සාධක සංගමය සැදැහි සිතින් සංවිධානය කරනු ලැබූ මෙම දාන,ශීල,භාවනා පිංකම් මාලාව සඳහා සියලු දෙපාර්තමේන්තු නිලධාරීන් බැති සිතින් එක් වී ප්‍රතිපත්තිමය පූජාවන්හි නිරත විය.

 




pic 1
 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2019.05.13 වන දින විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු ශ්‍රවණාගරයේ දී සාකච්ඡාවක නිරත විය. සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හා බැඳුණු ගැටළු රැසක් මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ අතර මියගිය සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ මරණ පාරිතෝෂික කඩිනම්ව ලබා දීම පිළිබඳවත් ඔවුන්ගේ වැන්දඹු අනත් දරු හිමිකම්ලාභීන්ගේ ප්‍රතිලාභ නියමිත කාලයේ දී ලබාදීම සඳහා එම ලිපිගොනු නිවැරදිව යාවත්කාලීන කළ යුතු ආකාරය පිළිබඳවත් සාකච්ඡා කරනු ලැබීය.